“සීමාවන් ඉක්මවා ගිය ප්‍රහාරයක්” – කටාර් ඉරානයට දැඩි චෝදනා

Report

කටාර්හි රාස් ලැෆාන් ලෝකයේ විශාලතම ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදන මධ්‍යස්ථානයට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ, එම ප්‍රකාශයේ කටාර් රජය මෙසේ සඳහන් කර ඇති බවයි:

"කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කරන මෙම දරුණු ප්‍රහාර මගින් සිවිල් වැසියන්, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කිරීම හරහා සියලුම සීමාවන් ඉක්මවා ගොස් ඇත."

අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම අසාධාරණ ප්‍රහාරවල ප්‍රතිඵලවලින් කලාපය මුදා ගැනීමේ අවශ්‍යතාවය බවයි. එසේම කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂාව සහ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා ගැටුම් සමනය කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන කිහිපයකට එල්ල කළ බවට වාර්තා වෙන සන්දර්භයකදීය.

රාස් ලැෆාන් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුව ඇති බවත්, ගිනි ගැනීම් ඇති වූ බවත් කටාර් බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.