මිරිහානේදී පොදු දේපල විනාශ කළේ ආණ්ඩුවේ හෙන්චයියලාද ? ප්‍රබලයෙකුගෙන් හෙළිදරව්වක්..!

JVP Sri Lanka politics Anura Kumara Disanayake Mirihana protest
By Sewvandhi Apr 01, 2022 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

උද්ඝෝෂණවලදී මෙවන් තත්වයන් ඇතිවීම ආණ්ඩුවට හිතකර බැවින් ඔවුන් එවැනි තත්වයක් ඇතිකරගැනීමට බලා සිටින බව කී අනුර දිසානායක මහතා ආණ්ඩුව හිතා මතා සැලසුම් කර මේ සඳහා කණ්ඩායමක් යෙදවූයේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් පැන නගින බව සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. අත දරුවන් වඩාගත් මව්වරු, නිවෙසේ සිට පැමිණි වැඩිහිටියන්, දරුවන් බිරින්දෑවරුන් සමඟ පැමිණි ස්වාමිපුරුෂයන් උද්ඝෝෂණවලට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන බව ද ජ.වි.පෙ නායකයා කීවේය.

පොදු ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයකට පහරදීමට හෝ බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතු බව ද හෙතෙම පැවසීය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය උපකරණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකරන අය පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා බව ද හෙතෙම කීවේය.

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන විට ආණ්ඩුවට වාසිසහගත හා ආණ්ඩුව විසින් ඇතිකරන ප්‍රචණ්ඩකාරී තත්වයන් වළක්වාගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ද දිසානායක මහතා පැවසීය. උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කරගැනීම තුළ ආණ්ඩුවට තමන්ගේ කෝකටත් තෛලය වන හමුදා යාන්ත්‍රණය යොදාගැනීමට හැකියාව ලැබෙන බව ද අනුර දිසානායක මහතා පැවසීය.

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අයට අත පය ඉදිරමන තරමට පහරදී ඇති බවත්, එක් තරුණයෙන් උණ්ඩ වැදී රෝහල්ගත කර තිබෙන බවත් කී අනුර දිසානායක මහතා මෙවැනි සාමාන්‍ය ජනතා උද්ඝෝෂණයකට පහරදීමකට අණ දුන්නේ ආරක්‍ෂක ඇමති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද නැතිනම් පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතා ද එසේත් නැතිනම් කවුද යන්න රටට කිව යුතු බව ද පැවසීය. ඔවුන්ට තනතුරු ලැබී ඇත්තේ දුන්නේ පොදු පුරවැසියන් දකින දකින තැන පහරදෙන්නට නොවේ යැයි ද ජ.වි.පෙ නායකයා කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha