ලංකාවට බරපතළ අවදානමක් - යුද්ධේ තව ඇඳුණොත් රටට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි මේ ආදායම විනාශයි
මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය මාස දෙක තුනක් පැවැතියහොත් මෙරටට මාසයකට දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 80 ත්, 90 ත් අතර ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බවට අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු සඳහන් කළේ යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයට සියයට අටක පමණ බලපෑමක් පවතින බවයි.
එමෙන්ම මෙරට සමස්ත අපනයනවලින් 6% ත්, 8% ත් අතර ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ මැද පෙරදිග රටවල්වලට බවද ඔහු පැවසුවා. පසුගිය 2025 වසරේදී මැද පෙරදිග රටවලට මෙරටින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1084 ක අපනයනයන් කර තිබෙනවා.
තවද ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 562 කම අපනයනය කර ඇත්තේ ඇඟලුම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන වර්ග, කුළුබඩු හා අනෙකුත් අපනයනයන් බව වාර්තා වේ.
කෙසේ වුවද ඩුබායි බෙදාහැරීම් කේන්ද්‍රස්ථානයක් බැවින් මැද පෙරදිග රටවල්වලින් ලැබෙන සමස්ත අපනයන ආදායමින් සියයට 31 ක් ඩුබායි නියෝජනය කරයි.
එසේම ඉරාකයට 18% ක්ද, සෞදි අරාබියට 12% ක්ද අපනයන කෙරෙන බව සභාපතිවරයා සඳහන් කළා.
මේ අතර දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැද පෙරදිග ගුවන් ගමන් අතුරින් 25% ක් පමණ ආරම්භ කර ඇති බැවින් පලතුරු, මාළු වර්ග ආදිය යම් ප්‍රමාණයක් එම කලාපයට අපනයනය කරන බවද ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් මැද පෙරදිග කලාපයට අපනයනය කරන භාණ්ඩ යුරෝපය ඇතුළු රටවලට අපනයනය කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.