ඖෂධ හිඟයට ගෙනෙන විසඳුම මෙන්න..

By Sithumi Apr 11, 2022 04:14 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට උපකාර කළ හැකි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මහින් හෙට දිනයේදී විශේෂ ගිණුමක් විවෘත කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජයසුමන මහතා පැවසීය. මේ වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 273ක් සම්බන්ධයෙන් එම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් අවශ්‍ය ආධාර උපකාර කිරීමට විදේශයන්හි වෙසෙන විශාල පිරිසක් එකඟ වී ඇතැයි සඳහන් වෙයි.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීම සඳහා ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ඉතිරිව පවතින මුදල් ප්‍රයෝජනයට ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මහ බැංකු අධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව දැනුම් දී ඇත. මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රටේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේ දී ඖෂධ හිඟය තවදුරටත් ඉහළ යනු ඇති බවය.

මේ අතර පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 200 කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now