IMF නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු උසස් නියෝජිත පිරිසක් ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලෙන 7 වන සමාලෝචනය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත.
බාහිර අභියෝග මධ්‍යයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජය කැපවී සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, IMF ආයතනය විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව ලබාදෙන සහාය අගය කළාය.
එමෙන්ම, දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන මෙන්ම අල්ලස් කොමිසම වෙත වත්කම් ප්‍රකාශ මඟින් ඉදිරිපත් කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට IMF නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩමිකෙල් මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් එක්ව සිටියහ.