ඉදිරි පැය 48 ඇතුලත දරුණු ගං වතුර තත්වයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන පරිදි මහවැලි ගංගා ද්‍රෝණිය අවට කිහිප ප්‍රදේශ සඳහා ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතියි.
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රී සිට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මූතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, නමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ගංවතුර අවදානම මතුව ඇති බවයි.
තවද, මඩකලපුව–පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශය, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශද ගංවතුරින් යටවීමේ අවදානමක් ඇති බැවින්, ඉදිරි දින කිහිපය තුළ සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එසේම, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවට ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.