මහවැලි අධිකාරියෙන් විශේෂ නිවේදනයක් - මේ අයට විමසිලිමත්ව හා ආරක්ෂාකාරී ඉන්නැයි දැනුම්දෙයි
මහවැලි ජලාශ පද්ධතියේ වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශවල ජල මට්ටම් සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වේන ආකාරයට වික්ටෝරියා ජලාශය වාන් මට්ටමට 188 cm පහළ පවතින අතර රන්දෙනිගල ජලාශය වාන් මට්ටමට 40cm පහළ මට්ටමක සහ රංටැඹේ ජලාශයේ වාන් මට්ටමට 151cm පහළ පවතී.
එබැවින් මේ වන විට ජලාශ වාන් දැමීමක් සිදු නොවුනද කාලගුණ පුරෝකථනයන්ට අනුව එම ජලාශවල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය අනුව ජලාශ වාන් මට්ටම කරා ලඟා වන බවත්, එසේ ඇතිවන වර්ෂාපතනය තවදුරටත් පවතින්නේ නම්, ඉදිරියේදී රන්දෙනිගල ජලාශය වාන් දැමීම සිදු විය හැකි බවත් සඳහන්.
තවද රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවද අඳාළ නිවේදනයේ ඇතුළත්.
ඒ අනුව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වික්ටෝරියා ජලාශය ද වාන් දැමීම සිදු වුවහොත් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවයි.
කෙසේ වුවද එම අධිකාරිය දැනුම් දී ඇත්තේ පහත් නිම්න ප්‍රදේශවල ගඟ පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව හා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි.