සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරයට ගොස් තිබේ.
රියාද් අගනුවර සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි මෙම බන්ධනාගාරයේදී තානාපතිවරයා අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ වත්මන් තත්ත්වය සහ සුබසාධනය පිළිබඳව සොයා බලා ඇති බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
එම සංචාරය අතරතුර තානාපතිවරයා අනෝජන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ඔහුගේ අවශ්‍යතා සහ දැනට මුහුණ දී සිටින ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අනෝජන්ට අවශ්‍ය සියලුම කොන්සියුලර් සහ නෛතික සහාය ලබාදීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව ද තානාපතිවරයා එහිදී යළිත් සහතික වී ඇත.
එමෙන්ම, ඉදිරියේදී සෘජුව සන්නිවේදනය කිරීම පහසු කරවීම සඳහා තානාපතිවරයාගේ පෞද්ගලික සම්බන්ධතා තොරතුරු ද අනෝජන් වෙත ලබාදී තිබේ.
මෙම හමුවෙන් අනතුරුව අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුගේ සුබසාධනය සම්බන්ධයෙන් සෞදි බන්ධනාගාර බලධාරීන් නිසි අවධානය යොමු කර ඇති බවත් තානාපති කාර්යාලය තහවුරු කර ඇත.
මේ අතර, සංචාරය අතරතුර ශ්‍රී ලංකා තානාපතිවරයා දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා සමඟ ද සාකච්ඡා කර තිබේ.