ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සුභ ආරංචියක්..! ගෑස් හිගයට පිළියමක්..

By Sewvandhi Nov 02, 2021 01:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

LP ගෑස් රැගත් නෞකා දැනටමත් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බව ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පවසයි. ඒ අනුව, ගෘහස්ථ LP ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය බෙදාහැරීමේ ප්‍රමාදය නිසා ඇති වී ඇතැයි ද එම සමාගම සඳහන් කරයි.

දැනට පවතින හිඟය නුදුරේදීම යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පැවසීය.

මේ අතර, රට තුළ යළි ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වෙමින් ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා සිට ඉහළ දැමීමට ගෑස් සමාගම් පියවර ගත්තේය.

ඒ පැවති මිල ගණන් යටතේ පාඩු විඳගනිමින් සිය ව්‍යාපාර කරගෙන යා නොහැකි බව පවසමිනි. ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ඉහළ නැංවුණි. කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු. 1257කින් ද කිලෝග්‍රෑම් 5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින්ද ඉහළ දැමුණි.

කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ රුපියල් 23කිනි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද අලෙවි වන්නේ රුපියල් 2765ක මිලකටය. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක රුපියල් 1071කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් අගෙවි වන්නේ රුපියල් 506ක මිලකටය.

කෙසේ වෙතත් මිල වැඩිකිරීම් සිදුකළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතී. අදත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණේ එවන් තත්ත්වයකි.

මේ අතර ඇතැම් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝළිම් ද දක්නට ලැබුණි. එමෙන් ම සිමෙන්ති හිඟයද තවමත් එලෙසම පවතී.

එම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිමෙන්ති නිෂ්පාදකයින් හා ආනයනකරුවන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW