නොවැම්බර් 15 ගැන කාලගුණයෙන් විශේෂ අනාවැකියක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයිද?
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය නොවැම්බර් 15 වැනිදා පමණ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි වුවද, එය ශ්‍රී ලංකාවට තරමක් ඈතින් ගමන් කිරීමට අපේක්ෂා කරන බැවින් දිවයිනට ඇති වන බලපෑම අවම වනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ එම්.එම්.පී. මෙරිල් මෙන්ඩිස් මහතා අද (13) සිකුරාදා මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.
''නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අද දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. බොහෝ දුරට ඉදිරි පැය කීපය තුළ එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ පද්ධතිය පොතුවිල් සිට කිලෝමීටර් 750ක් විතර ගිනිකොණ දෙසට වන්න තමයි ස්ථානගතව පවතින්නේ. ඒ වගේම මේ පද්ධතිය නොවැම්බර් මාසේ 15 වෙනිදා වගේ වෙද්දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් අපේ නවතම දත්ත විශ්ලේෂණ අනුව මේ පද්ධතිය ශ්‍රී ලංකාවට තරමක් ඈතින් ගමන් කරන නිසා, මේ පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ ගොඩබිම කෙරෙහි ඇතිවන බලපෑම බොහෝ දුරට අවම තත්ත්වයක තමයි දැනට පවතින්නේ. ඒ අනුව වැසි තත්ත්වයේ අඩුවීමක් අපි බොහෝ දුරට ඉදිරි දින කීපයේ අපේක්ෂා කරනවා. කෙසේ නමුත් පද්ධතියේ සුළු බලපෑමක් උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින නිසා වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන් උතුරු සහ නැගෙනහිර පළාත්වල. ඒ හැරුණාම විශේෂයෙන් පද්ධතිය ක්‍රමයෙන් උතුරු දෙසට තමයි ගමන් කිරීමක් අපේක්ෂා කරන්නේ. ඒ අනුව පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට ඇතිවන බලපෑම බොහෝ දුරට අවම මට්ටමක තමයි දැනට පවතින්නේ නවතම දත්ත විශ්ලේෂණය අනුව ගත්තාම. කෙසේ නමුත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ, විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මේ පද්ධතිය වර්ධනය වීමක් අපේක්ෂා කරන නිසා, විශේෂයෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර ජනතාව තවදුරටත් මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් නොවැම්බර් මාසේ 14 වෙනි දින සිට බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින්න කියන එක අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම මේ මොහොතේ මතක් කරන්න කැමතියි. කාළගුණ දේපාර්ත්තුමේන්තුව මේ පද්ධතියේ හැසිරීම නිරන්තරව අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ අනුව යාවත්කාලීන කරන අපේ නිවේදන සම්බන්ධව විශේෂයෙන් ජනතාව අවධානය යොමු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ අනුව අද දිනයේ කාලගුණ තත්ත්වය ගත්තොත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් තමයි අපි අද දිනයේදී අපේක්ෂා කරන්නේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. ඒ හැරුණාම දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ගත්තොත් බස්නාහිර, සබරගමුව පළාතෙත් ඒ වගේම දකුණු පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා, නමුත් තද වැසි අපේක්ෂා කරන්නේ නැහැ. නැවතත් මතක් කළොත් මේ පද්ධතියේ බලපෑම අනුව තමයි ඉදිරි දින කීපයේ ශ්‍රී ලංකාවේ කාලගුණය තීරණය වෙන්නේ. ඒ අනුව මේ පද්ධතිය බොහෝ දුරට ශ්‍රී ලංකාවට ඈතින් ගමන් කරන නිසා පද්ධතියේ බලපෑම අවම වෙයි කියන එක තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ අනුව වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කීපයේ අපේක්ෂා කරනවා.''
''පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා අණ්ඩු පෙරළන්න බැහැ '' - ජනපතිගෙන් විපක්ෂයට සැර ප්‍රහාරයක්