ඔබේ Phone එකේ Battery බැහැලා නම් ගාස්තුව වැඩියි? පෞද්ගලික දත්ත හොරකම් කර මිල තීරණය කරන සමාගම්වලට නිව්යෝර්ක් නගරයෙන් දැඩි තහනමක්

Report

පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත සහ අන්තර්ජාල භාවිත තොරතුරු උපයෝගී කරගනිමින් එකම භාණ්ඩ හා සේවා සඳහා විවිධ මිල ගණන් අය කිරීමේ ක්‍රමවේදයක් වන ‘අධීක්ෂණ මිල නියම කිරීම’ (Surveillance Pricing) තහනම් කිරීමට නිව්යෝර්ක් නගරය පියවර ගෙන තිබේ.

නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මැම්ඩනි (Zohran Mamdani) මේ බව නිවේදනය කරමින් සඳහන් කළේ, ඇතැම් සමාගම් පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ගවේෂණ ඉතිහාසය ඇතුළු පෞද්ගලික දත්ත විශ්ලේෂණය කරමින් එක් එක් පුද්ගලයාට වෙනස් මිල ගණන් ඉදිරිපත් කරන බවයි. ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“සමහර සමාගම් ඔබගේ අන්තර්ජාල භාවිත ඉතිහාසය වැනි පෞද්ගලික දත්ත භාවිත කරමින් විවිධ පාරිභෝගිකයන්ට විවිධ මිල ගණන් පෙන්වනවා. මෙය ‘අධීක්ෂණ මිල නියම කිරීම’ ලෙස හඳුන්වන අතර, අපි දැන් නිව්යෝර්ක් නගරය තුළ එය තහනම් කර තිබෙනවා.” එමෙන්ම, පෞද්ගලික බ්‍රවුසින් හෙවත් Incognito Mode සම්බන්ධයෙන් ද විනෝදාත්මක අදහසක් පළ කළ නගරාධිපතිවරයා, “මෙම පණිවිඩය ඉන්කොග්නිටෝ මාදිලියෙන් බැලුවත් එහි අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ. ඒ ගැන කරදර වෙන්න එපා,” යනුවෙන් සඳහන් කළේය.

නිව්යෝර්ක් නගරයේ දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි මෙම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වූ නීති කෙටුම්පත පසුගිය බ්‍රහස්පතින්දා (12) නගර සභාව විසින් අනුමත කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත. නගර සභා මන්ත්‍රී ජූලී මෙනින් (Julie Menin) විසින් ඉදිරිපත් කරන ලද මෙම නීතිය, එක්සත් ජනපදය තුළ අධීක්ෂණ මිල නියම කිරීම පාලනය කිරීම සඳහා ගෙන ඇති දැඩි නීතිමය පියවරක් ලෙස සැලකේ.

‘Introduction 891-A’ ලෙස නම් කර ඇති මෙම නීතිය යටතේ, එකම භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා විවිධ පාරිභෝගිකයන්ට වෙනස් මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලික දත්ත මත සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පදනම් වන ඇල්ගොරිතම භාවිත කිරීම ව්‍යාපාරික ආයතන සහ සේවා සපයන්නන්ට තහනම් වේ.

මෙම නීතියේ ප්‍රධාන අරමුණ වන්නේ නගරය තුළ පවතින ජීවන වියදම් සහ භාණ්ඩ හා සේවා දැරීමේ හැකියාව පිළිබඳ අර්බුදය තවදුරටත් උග්‍ර කළ හැකි, පාරිභෝගිකයන් නොමඟ යවන මිල නියම කිරීමේ ක්‍රමවේදවලින් ඔවුන් ආරක්ෂා කිරීම බව ජූලී මෙනින් ප්‍රකාශ කළාය. “සමාගම් විසින් ඇල්ගොරිතම සහ පෞද්ගලික දත්ත භාවිත කරමින් එකම නිෂ්පාදන සඳහා විවිධ පුද්ගලයන්ගෙන් විවිධ මිල ගණන් අය කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක්.එය අප මුහුණ දෙන ජීවන වියදම් අර්බුදය තවදුරටත් උග්‍ර කරනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

නගර සභාව පෙන්වා දෙන්නේ මෙම මිල නියම කිරීමේ ක්‍රියාවලිය බොහෝ විට පාරිභෝගිකයන්ගේ අවධානයට ලක් නොවන ආකාරයෙන් සිදුවන බැවින් එවැනි වෙනස්කම් හඳුනා ගැනීම දුෂ්කර බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සිල්ලර භාණ්ඩ බෙදාහැරීමේ වේදිකාවක් පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. එහිදී ප්‍රධාන ගමන් බෙදාගැනීමේ සමාගමක හිටපු චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෙකු කළ ප්‍රකාශයක් ද නගර සභාව විසින් උපුටා දක්වා ඇත

එම ප්‍රකාශයට අනුව, අදාළ යෙදුම පාරිභෝගිකයෙකුගේ ජංගම දුරකථනයේ බැටරි ආරෝපණ මට්ටම අඩු වූ අවස්ථාවලදී ගාස්තු ඉහළ නැංවූ බවට චෝදනා එල්ල වී තිබේ. එවැනි අවස්ථාවලදී ප්‍රවාහන පහසුකමක් කඩිනමින් ලබා ගැනීමට පාරිභෝගිකයාට ඇති අවශ්‍යතාව ප්‍රයෝජනයට ගනිමින් වැඩි මුදලක් අය කිරීමේ හැකියාවක් පවතින බව ද පෙන්වා දී ඇත.

මෙම නව නීතිමය පියවර හරහා එවැනි මිල නියම කිරීමේ භාවිතයන් පාලනය කිරීමත්, මිල තීරණය කිරීමේදී පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත අනිසි ලෙස භාවිත කිරීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමත් නිව්යෝර්ක් නගර සභාවේ අරමුණ වී තිබේ.

මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ