හෙටින් විවෘත වන නෙළුම් කුළුණේ වැරදි 21ක් ගැන හෙළිදරව්වක්...
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුළුණ ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේය.
මේ වසරේ දෙසැම්බර් 31 වන දින වන විට විවිධ උත්සව 15ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණු අතර ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.
හෙට සිට නෙළුම් කුළුණ ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ.
එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බව සඳහන්ය.
මේ අතර නෙළුම් කුළුණේ වැරදි 21ක් තිබූ බවට ඉංජිනේරුවරුන් සොයාගෙන තිබූ බව නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
නෙළුම් කුළුනේ අයිතිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැවරුවේ 2022 පෙබරවාරි 28 දින බවත් නමුත් පසුගිය අගෝස්තු 28 වැනිදා චීන සමාගමෙන් විදුලි සංදේශ කොමිසම වෙත නෙළුම් කුළුනේ අයිතිය බාර ගත් බවද සමරසිංහ මහතා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |