මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදියි
පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ සහායකයන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් අද (2026 මැයි 12) පෙරවරුවේ කඩවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ මාර්ග විනය පවත්වා ගැනීම අරමුණු කරගත්තකි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී කඩවත බස් නැවතුම්පොළේ සේවය කළ රියදුරන් සහ සහායකයින් 148 දෙනෙකු අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරිණි.
ජංගම පරීක්ෂණාගාර බස් රථයක් තුළ සිදුකළ මෙම වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වූයේ පරීක්ෂා කළ පිරිසෙන් පුද්ගලයන් 07 දෙනෙකුම අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවයි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා සඳහන් කළේ, මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කරන බවයි.
මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වන රියදුරන්ට එරෙහිව ආයතනික විනය පියවරවලට අමතරව රටේ පොදු නීතිය යටතේ දැඩි දඬුවම් ලබා දීමට ද බලධාරීන් තීරණය කර තිබේ.
මෙම වැඩසටහන මගින් මගීන්ට මෙන්ම පදිකයන්ට ද වඩාත් සුරක්ෂිත මාර්ග පද්ධතියක් නිර්මාණය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.