අඩු පොලියට සහ පොලී රහිතව ණය ගන්න අයට රතු එළියක්..දසදහස් ගණනකට සිදුවූ දේ..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Sep 25, 2023 05:02 AM GMT
Aruna

Aruna

Report

ඔන්ලයින් ඔස්සේ කෙටි කාලීන මූල්‍යමය ණය පහසුකම් ලබාදෙන පෞද්ගලික ආයතන සිදුකරන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් තමන් ඉමහත් අසීරුතාවට පත්ව සිටින බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මෙවැනි බොහෝ ආයතන ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ සිය පාරිභෝගිකයන් සම්බන්ධ කරගන්නා අතර ඇතැම් ආයතන පාරිභෝගිකයන්ගේ දුරකතනවලට කෙටි පණිවුඩයක් එවීමෙන් පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීම සිදු කරයි.

තවද මෙම ආයතනයන්හි ජංගම දුරකතන යෙදවුම් හරහා පාරිභෝගිකයන්ගේ ජංගම දුරකතනයේ දත්ත ලබාගන්නා බවට ද පාරිභෝගිකයෝ කියා සිටියි.

පොලී රහිතව හෝ සුළු පොලියක් යටතේ ණය ලබාගැනීමේ පහසුකමත්, කෙටි කාලයක් තුළදී ණය ලබා ගැනීමට හැකිවීමත්, හේතුවෙන් බොහෝ දෙනෙක් මෙවැනි ආයතනවලින් අන්තර්ජාලය හරහා ණය ලබාගැනීමට පෙළඹෙයි.

එහෙත් පාරිභෝගිකයන්ට ණය ලබාදීමෙන් පසු ඔවුන්ට පොරොන්දු වන පොලී ගාස්තු හිතුමතේ වෙනස් කර වැඩි ප්‍රමාණවලින් පොලී මුදල් අයකරගන්නා බවටයි පාරිභෝගිකයින් පවසන්නේ.

එමෙන්ම යම් හෙයකින් වාරික මුදල් ආපසු ගෙවීම අපහසු වුවහොත් පාරිභෝගිකයන්ගේ ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව ඔවුන්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ පළ කිරීමටද ඇතැම් ආයතන ක්‍රියාකරන බවට ද වාර්තා වේ.

එමෙන්ම පාරිභෝගිකයන් සේවය කරන ආයතනවලට දුරකතනයෙන් ඇමතුම් දී පාරි‍‍‍භෝගිකයා සම්බන්ධයෙන් වැරැදි තොරතුරු සමාජගත කරන බවද වාර්තා වෙමින් පවතී.

එමෙන්ම මෙම ආයතනවල නිලධාරින් දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එම දුරකතන අංකවලට නැවත ඇමතුම් ගත නොහැකිවන පරිදි සකස් කර තිබීම හේතුවෙන් තමන් ඉමහත් අසීරුතාවට පත්ව සිටිතියි පාරිභෝගිකයෝ කියා සිටියි.

මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ ණය ලබාගත් දහස් ගණනක් මේ වන විට පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, නීතිවිරෝධී මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීම මෙන්ම ණය ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතු බවයි.

එමෙන්ම පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකි බවද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.

ReeCha