ස්ටෙෆනී සහ දුෂ්මන්ත නිසා මහා පරිමාණ මිනිස් ජාවාරමක සුලමුල හෙළි වූ හැටි. (VIDEO)
ලංකාවේ ජනප්‍රිය සහ කවුරුත් ආදරේ කරන චරිත දෙකක් තමයි ස්ටෙෆනී සිරිවර්ධන සහ දුෂ්මන්ත වීරමන්.
ඉතින් මනුෂ්‍යත්වය නිසා මහා පරිමාණ මිනිස් ජාවාරමක සුලමුල සොයා ගැනීමට හැකි වී ඇති බව dailymirror පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම පුවත් වෙබ් අඩවියේ අදාළ සිදුවීම වාර්තා කර තිබුණේ මේ ආකාරයටයි,
ස්ටෙෆනී සහ දුෂ්මන්ත ගේ නිවසේ සේවය කළ කාන්තාවක් ඕමාන් බලා යන බව පවසා සේවයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
එලෙස විදෙස්ගත වූ කාන්තාව දින කිහිපයකට පසුව ඇගේ දියණිය අමතා තමන් ඇතුළු කාන්තාවන් 17 දෙනෙකු යම් තැනක සිරකරගෙන සිටින බව දැනුම් දී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථන සහ විදෙස් ගමන් බලපත්‍ර එම පිරිස විසින් බලහත්කාරයෙන් ගෙන ඇති බවත් දුරකථනයකින් එම කාන්තාව පවසා තිබුණා.
දියණිය, ස්ටෙෆනී සහ දුෂ්මන්ත අමතා ඇගේ අම්මා බේරා ගැනීමට උදව් ඉල්ලා තිබෙනවා.
කාන්තාව සිය දියණිය සමඟ කතා කළ දුරකථනය මාර්ගයෙන් ඈ සිටින්නේ ඕමානයේ නොව අබුඩාබියේ බව ස්ටෙෆනී සහ දුෂ්මන්ත සොයා ගනු ලැබුවා.
ඈ විසින් වට්ස්අප් කර තිබුණු අනෙකුත් තොරතුරු අනුව ඕමානයේ රැකියාවකට යවන බව කී එම කාන්තාව කිසියම් පිරිසක් විසින් සංචාරක වීසා මත අබුඩාබියට යවා ඇති බව තහවුරුකරගෙන තිබෙනවා.
එම කාන්තාව මුලින්ම සම්බන්ධ වී ඇත්තේ කටුගස්තොට පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන අතර එම ආයතනය ඇගේ තොරතුරු මරදානේ පිහිටි තවත් විදේශ රැකියා නියෝජිත ආයතනයකට යොමු කර තිබුණා.
මරදානේ පිහිටි එම විදේශ රැකියා නියෝජිත ආයතනය – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එම කාන්තාව රෙජිස්ටර් කර තිබෙන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇය රෙජිස්ටර් කර ඇත්තේ ඕමානයේ රැකියා කිරීම සඳහායි.
නමුත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාල කාන්තාව ලියාපදිංචි කිරීමෙන් පසුව, තැරැව්කරුවකු විසින් ගුවන් ටිකට්පතක් ලබා දී එම කාන්තාව ඕමානයට නොව අබුඩාබියට යවා තිබෙනවා.
මේ සියළු තොරතුරු විෂය භාර අමාත්‍යවරයා වන මනූෂ නානායක්කාර මහතාට මේ වන විටත් ලබා දී ඇති අතර ඇමති මනූෂ පොලිසිය භාර අමාත්‍යවරයා දැනුම්වත් කර ඇති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |