මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, තම දශක තුනකට අධික පාලනයේ අවසානයට සූදානම් වන බවට ඇඟවෙන පියවරක් ලෙස ජ්‍යෙෂ්ඨ පූජකවරුන් තිදෙනෙකු අනුප්‍රාප්තිකයන් ලෙස නම් කර ඇති බව වාර්තා වේ. ඉරාන-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට මෙවැනි පියවරක් ගැනීම මෙය පළමු අවස්ථාවයි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, කමේනිගේ පුත් මෝජ්තාබා මෙම අනුප්‍රාප්තික ලැයිස්තුවට ඇතුළත් නොවේ. හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි කමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකුණත්, 2024 හෙලිකොප්ටර් අනතුරකින් ඔහු මිය යාමත් සමඟ එම අපේක්ෂාව අවසන් විය.
ඉරාන නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා වන අන්දමට, කමේනි ආරක්ෂිත භූගත බංකරයකට රැඳී සිටින අතර, ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයන් අත්හිටුවා ඇත. හමුදා අණදෙන නිලධාරීන්ට පණිවිඩ ලබාදීමට ඔහු විශ්වාසවන්ත සහායකයෙකු පමණක් යොදාගනී. මෙම ආරක්ෂක පියවරයන් ඝාතන තර්ජන පිළිබඳ බරපතළ සැලකිල්ලක් පෙන්වන අතර, මෑත ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මිය යාමත් සමඟ මෙය තවත් උත්සන්න වී ඇත.
මෝජ්තාබාගේ නම ඉවත් කිරීම, රාජවංශික අනුප්‍රාප්තිය ප්‍රතික්ෂේප කිරීමේ සවිඥානික තීරණයක් ලෙස සැලකේ. අනුප්‍රාප්තිකයන් නම් කිරීමත්, IRGC තුළ තනතුරු නැවත සංවිධානය කිරීමත් මඟින්, කමේනි ඔහුගේ හදිසි මරණයකදී හෝ අස්ථාවරත්වයකදී බලයේ අඛණ්ඩතාව සහතික කිරීමට සැලසුම් කරන බව පෙනේ.
බාහිර හමුදා තර්ජන හා අභ්‍යන්තර දේශපාලන අවිනිශ්චිතතා මධ්‍යයේ, ඉරානයේ ඉහළම නායකත්වයේ බිඳෙනසුලු බව මෙයින් පිළිබිඹු වේ. ඇමරිකා එක්සත් ජනපදය ඉරාන-ඊශ්‍රායල අර්බුදයට නිල වශයෙන් මැදිහත් වී නොමැති වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප්, කමේනි ඝාතනය නොකරන බවත්, “අඩුම තරමින් දැනට” එසේ නොකරන බවත් ප්‍රකාශ කරමින් ඔහුගේ ස්ථානය දන්නා බවද සඳහන් කළේය.
මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ABC පුවත් සේවයට අදහස් දක්වමින්, කමේනි ඉලක්ක කිරීම බැහැර නොකරන බව පැවසීය. “අපට කළ යුතු දේ අපි කරනවා,” යැයි ඔහු සඳහන් කළේය.
කමේනි මෙම තර්ජනවලට සෘජුව ප්‍රතිචාර නොදැක්වුවත්, ඉරානය කිසිවෙකුගේ ප්‍රහාරවලට යටත් නොවන බව ප්‍රකාශ කර ඇත.
