නුවරින් ආ අමුතු අත්සන ඒමට හේතුව (VIDEO)
මහනුවර දී ස්පුට්නික් එන්නත ලබාදීමේදී එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන බවට පවසමින් අත්සන් ලබා ගැනීම සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විශේෂඥ කමිටුවේ උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් ජනතාවට ලබාදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ස්පුට්නික් එන්නත ලබාදීම පෙරේදා මහනුවර දී ආරම්භ කළ අතර එහිදී එන්නත ලබාගත් පුද්ගලයින්ට කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා වෙනම පත්‍රිකාවක් ලබාදී තිබුණා. එහි තිබූ මුද්‍රවක දැක්වුණේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි යන්නයි.
ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ ද කරුණු අනාවරණ කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව කිසිවක් නොදන්නා බවයි.
එහෙත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ කමිටුවේ අනුදැනුම සහිතව එය සිදුවූවක් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |