නිවාඩුවට පැමිණ කලහාකාරී ලෙස හැසිරුනු සෙබලුන්ට සිදු වු දේ

soldier Madampe Gomarankadavala Karaggaha wewa vallaravata
By Sewvandhi Apr 15, 2022 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෝමරන්කඩවල - කරග්ගහවැව ප්‍රදේශයේ දී අවුරුදු සාදයක් අතරතුර බීමතින් කළහකාරි ලෙස හැසිරුණු යුධ හමුදා සෙබලුන් සිවු දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගෝමරන්කඩවල පොලීසිය වෙත ලද පැමිණිල්ලට අනුව යි.

පොලීසිය සඳහන් කළේ, සිංහල අලුත් අවුරුදු නිවාඩුවේ ගමට පැමිණි එම සෙබලුන් අවුරුදු සාදයක් අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් ගුටිබැට හුවමාරුවක නිරත වී ඇති බවයි. එහිදී පුද්ගලයන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝමරන්කඩවල - කරග්ගහවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ත් 35ත් අතර වයස්වල පසුවන තරුණයන්. ඔවුන් ත්‍රීකුණාමලය, හොරොව්පතාන සහ මුලතිව් යන හමුදා කඳවුරුවලට අයත් සෙබලුන් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්නගෙන් විමසීමක් කළ අතර, එහි දී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර මාදම්පේ - වැල්ලරාවට ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ, පුද්ගලයින් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකුට පහරදෙන අවස්ථාවේ එය වැලැක්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු පහරකෑමට ලක්ව රෝහල් ගතකළ බවයි.

එහෙත් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 39 හැවිරිදි ඔහු දකුණු මහගම - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාදම්පේ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මක යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now