කාබනික පොහොර ආනයනය කිරීමට සැලැස්මක්.

Kabanika pohora
By Aruna Jun 01, 2021 06:55 AM GMT
Aruna

Aruna

Report

 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය සැරසෙයි. ඒ අනුව, හෙක්ටයාර් 500,000කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට පියවරගන්නා බව අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිනි.

කැබිනට් නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් එම පොහොර අවශ්‍යතාවයන් රජයට අයත් පොහොර සමාගම් හරහා ආනයනය කෙරෙන බවය.

අනතුරුව එම කාබනික පොහොර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදාහැරීමට නියමිතය.

රට තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීමට රජය විසින් මේ වනවිට පියවර ගෙන තිබේ.

මේ වනවිට මෙරට නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021/22 මහ කන්නය සඳහා හෙක්ටයාර් 224,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත් තවත් හෙක්ටයාර් 100,000කට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගත් ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී සපයා ගැනීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව සඳහන් වේ.

එබැවින් කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ප්‍රසම්පාදනය කිරීමට අදාළ ව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ එම කමිටුවට සහාය වීමට අදාළ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කිරීමට ද තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now