ඉතාලි රැකියා කෝටාවෙන් මෙරට 82000කට විදෙස් ගතවෙන්න පුලුවන් ද? Online ලියාපදිංචි වෙන්න ගිය අයට වුණ දේ මෙන්න.(EXCLUSIVE)

Sri Lanka
By Aruna Mar 28, 2023 04:00 AM GMT
Aruna

Aruna

Report


ඉතාලි රැකියා කෝටාවට ශ්‍රී ලාංකිකයින්ට ඝෘජුවම අයදුම් කරන්න බෑ....

ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණු පැහැදිළි කරයි.

ඉතාලියේ රැකියා අවස්ථා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම පිළිබදව 2023.03.07 වන දින තානාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් කාර්යාංශය වෙත නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කරුණු පිළිබඳව පහත සඳහන් තොරතුරු ඔබවෙත කාරුණිකව ඉදිරිපත් කරමි.

මෙම නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ තනාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් 2023.03.08 වැනි දින කාර්යාංශය වෙත ලිපියක් යොමු කරමින් කරුණු පැහැදිළි කර ඇත.

එමගින් සිදු කර ඇති පැහැදිලි කිරිම අනුව ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සදහා අයඳුම් කිරීම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කල යුතුව ඇති බවත් එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බවත් දැනුම් දී ඇත.

ඉහතින් සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ සිට මෙම රැකියා අවස්ථා සඳහා සෘජුවම අයදුම් කිරීමට නොහැකි බවත් ඉතාලියේ සේවා යෝජකයින් විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කල යුතු මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

කෙසේවෙතත් මෙරට තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඊයේ(27) දිනයේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මීට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව ඉතාලි රැකියා අවස්ථා සඳහා ඔන්ලයින් ලියාපදිංචි වීමට උත්සාහ කර තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ, ඉතාලියේ රැකියාවන් 82,702ක් සඳහා ශ්‍රී ලාංකිකන් ඇතුළු යුරෝපා නොවන රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව හිමිව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2023 මාර්තු මස 08 වන දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කිරීමයි.

එම නිවේදනයේ සඳහන් වූයේ මෙම අවස්ථාව ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බවයි.

කාලීන රැකියා (Seasonal Workers), කාලීන නොවන රැකියා (Non-Seasonal Workers) හා ස්වයං රැකියා (Self Employed) යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිව බවද එහි සඳහන්වී ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වුනේ, මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ එම රැකියා අවස්ථා සඳහා අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව 27 දින පෙරවරු 9.00 සිට https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023 යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් අන්තර්ගත වී තිබුණා.

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බවත්, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසටත් සියළුම ශ්‍රි ලාංකිකයින් දැනුවත් කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට පෙර දැනුම්දී තිබුණා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නිකුත් කළ මෙම නිවේදනය අනුව ඊයේ(27) දිනයේ විශාල පිරිසක් ඉහත සඳහන් කර ඇති ලින්ක් එක හරහා ඔන්ලයින් ලියාපදිංචි වීම සඳහා ප්‍රවේශ වුවත්, කිසිවෙකුට එම ලියාපදිංචිය සිදු කර ගැනීමට නොහැකි වූ බවට අපවෙත තොරතුරු වාර්තා වුණා.

මේ සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යන්ශයෙන් ගගන ප්‍රවෘත්ති අංශය විසින් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ,ඉහත නිකුත් කළ නිවේදනය පසුගිය 2023 මාර්තු 09 වන දින නැවත යාවත්කාලීන කර ඇති බවත්, ඒ අනුව එහි සඳහන් ලින්ක් එක හරහා ඔන්ලයින් ලියාපදිංචි වීමට කිසිවෙකුට නොහැකි බවයි.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් කියා සිටියේ තම කාර්යංශය විසින් මුලින් නිකුත් කළ නිවේදනය සමාජ මාධ්‍ය හරහා හුවමාරුවීම හේතුවෙන් ඊයේ(27)දින සිට මෙලෙස ලියාපදිංචි වීම සඳහා බොහෝ පිරිසක් උත්සාහ කර ඇති බවයි.

මෙය නිවැරදි කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පසුව නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

ඒ අනුව ඔබත් ඉතාලි රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට කාරුණික වන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery