මීගමුව බන්ධනාගාර ගැටුමේ තැතිගැන්ම තවමත් ඉවර නැහැ- වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන් දෙදෙනෙකුත් පිට පිටම මියයයි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු මියගොස් ඇති අතර, බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ තවත් රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති අතර, ගැටුම මෙහෙයවූ බවට සැක කෙරෙන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර බන්ධනාගාර විශේෂ උපක්රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකුද සිටී.
ගැටුමෙන් රැඳවියන් 17 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ 100කට ආසන්න පිරිසෙන් 20 දෙනෙකු තවදුරටත් බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.