74 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි.. නිදහස් උළෙල මෙතනින් සජීවීව නරඹන්න.(LIVE)

Army Sri Lanka Independence Day Gotabaya Rajapakshe
By Aruna Feb 04, 2022 01:23 AM GMT
Aruna

Aruna

Report

74 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී මේ වන විට  ආරම්භ වී තිබෙනවා.

පහත වීඩියෝවෙන් සජීවීව නරඹන්න.



අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක් යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවයි.

අද පෙරවරු 8.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාව වෙත පැමිණීමත් සමග නිදහස් උළෙලේ කටයුතු ආරම්භවීමට නියමිතයි.

ජාතිය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිකිරිම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය.

ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික කණ්ඩායම්වල අංග ඉන් අනතුරුව පැවැත්වෙයි.

ඒ සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතය.

සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කළේය.

නිදහස් දින සැමරුම පැවැත්වෙන කාලය තුළ නිදහස් චතුරඝ්‍රය අවට මාර්ග 21ක් ගමනාගමනය සඳහා වසා තැබෙන අතර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ 3,000ක් පමණ පිරිසක් යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මෙවර නිදහස් දින සැමරුමට සහභාගීවීම සඳහා මහජනතාවට එම පරිශ්‍රයට පැමිණීමට අවසර හිමි නොවන අතර උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එම උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now