IMF වැඩසටහන 25 වනදා සිට විවාදයට

By Sithumi Apr 11, 2023 06:12 PM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව එය අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගන්නා බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසුවේ. 

 එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද? නැද්ද? යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවද ඔහු පැවසුවා. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති හමුවකදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, "2024 තුන්වන කාර්තුවේදී, දැනට නීතියෙන් ආවරණය නොවන ක්ෂේත්‍ර ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වනපරිදි නව රාජ්‍ය ණය කළමනාකරණ නීතියක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා." 

"ප්‍රතිව්‍යුහගත කර වාණිජකරණයට ලක් කෙරෙන රාජ්‍ය ව්‍යවසායන්වලට ස්වෛරී ඇපකර සැපයීම සහ ණය දීමේ මෙහෙයුම් වැනි ක්‍රියාවලි මෙයට ඇතුළත්." "පාර්ලිමේන්තුව විසින් දැනටමත් අනුමත කරන ලද අනිවාර්ය ආදායම් බදු පනතක් සමගින් බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ 2024 පළවන කාර්තුවේ බදු විගණන සහ අනුකූලතාවය ඉහළ නැංවීම කෙරෙහි අවධාරණය කිරීම ද එහි අරමුණක් බව සඳහන් කළයුතුයි." "වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය අවම කිරීම සහ තරගකාරිත්වය වැඩි කිරීම සඳහා වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ පැරා තීරුබදු ඉවත් කිරීම අපේක්ෂාවයි."

"ආදායම් මධ්‍යස්ථභාවය සහතික කිරීම සඳහා වන්දි ගැලපීම් සිදු කරනු ලබන අතර, පැරා තීරු බදුවලින් සිදුවන පාඩු පියවා ගැනීම සඳහා මෙම ගැලපීම්වලින් ලැබෙන ආදායම සැලකිල්ලට ගන්නවා." "දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍රයක්. සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම, බෙදාහැරීමේ පද්ධති වැඩිදියුණු කිරීම සහ නිවැරදි ඉලක්ක සහතික කිරීම මෙයට ඇතුළත් වෙනවා. එය සාක්ෂාත් කරගැනීම සඳහා, පළමු පියවර වන්නේ නිලධාරීන්ගේ ප්‍රතිවිරෝධය හේතුවෙන් අභියෝගාත්මක වූ ලේඛන යාවත්කාලීන කිරීම බව හඳුනාගෙන තිබෙනවා." "සුදුසුකම් සපුරණ ප්‍රතිලාභීන්ගේ විස්තර සහ ඡායාරූප එක්රැස් කර නිශ්චිත නිර්ණායක මත තෝරා ගැනීම් සඳහා කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා."  "නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයක් සඳහා වන රෙගුලාසි කැබිනට් මණ්ඩලය විසින් සම්මත කිරීමෙන් අනතුරුව, ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් ජුනි 01 වනදා සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා."