හෙට මේ ජනතාවට සුබ ආරංචියක් - ජනපති ප්‍රධානත්වයෙන් කරන්න යන දේ
අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත පවත්නා ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාවට ඒම ඉඩම්වල පරම අයිතිය ලබා දීම සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පස්වරු 2.00ට අනුරාධපුර, කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරය හිදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
ඒ අනුව 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දී ඇති අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත පවත්නා ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාවට පරම අයිතිය නොමැතිව, අදාළ භූමිය මානව අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතාවන් සඳහා යොදා ගැනීමේදී ගැටළු ඇති විය හැකිය.
එමනිසා, මෙම වැඩසටහන යටතේ, අවසර පත්‍ර සහ දීමනාපත්‍රවල කොන්දේසි ඉවත් කර 1947 අංක 8 දරණ රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුව නිදහස් ප්‍රදානපත්‍ර (‘හිමිකම’) ලබා දීමට කටයුතු කර තිබේ. මෙම වැඩසටහන යටතේ, ස්වකීය කැමැත්තෙන් රජයට භාර දෙන අවසර පත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දෙනු ලැබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙට (27) දින ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීමට නියමිත අතර, ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබයි.