නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ් වෙයිද? ක්‍රිෂ් නඩුවේ ඇප අත්හිටුවන තීන්දුව නොවැම්බර් 18 වැනිදා
ක්‍රිෂ් අල්ලස් නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබාදී ඇති ඇප නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කරන ලද සංශෝධිත පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දී ඇත.
පසුගිය නොවැම්බර් 3 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට ගත් තීරණයට එරෙහිව අල්ලස් කොමිසම මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එම ඇප නියෝගය නීතියට පටහැනි බව කොමිසමේ පාර්ශ්වය තර්ක කරයි.
LAUGFS ගෑස් මිල ඉහළ දැමීම ගැන සජිත් සහ කථානායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් ගැටුමක් - ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට විපක්ෂ නායකවරයා දැරූ උත්සාහයත් සමඟ සභාව ගිනියම් වෙයි
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය අනුව විශේෂිත තත්ත්වයක් නොමැති අවස්ථාවලදී එම පනත යටතේ චෝදනා ලැබූ සැකකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවයි.
ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා ලබාදුන් ඇප නියෝගය අදාළ නීතිමය විධිවිධානවලට පටහැනි බවද ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම සැකකරු ඇප මත මුදාහැරීම හේතුවෙන් නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීමට විරෝධය පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ අල්ලස් කොමිසම ඉල්ලා සිටින අතුරු සහනය, අවසාන තීන්දුවකින් ලබාදිය හැකි සහනයකට සමාන බවයි.
එවැනි සහනයක් ලබාදීම ස්ථාපිත ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශවලට පටහැනි බවද ඔහු තර්ක කර තිබේ. තවද, නාමල් රාජපක්ෂ මහතාගේ මව දරුණු හෘද රෝගී තත්ත්වයකින් පෙළීම ඇතුළු විශේෂිත කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා නීතියට අනුකූලව ඇප ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව අල්ලස් කොමිසමේ අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නාමල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති ඇප නියෝගය අත්හිටුවන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය තීරණය කර ඇත.