TikTok වීඩියෝවකට වන සතෙකු ගන්න ගිහින් 19 හැවිරිදි තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි- "බල්ලෙක් කෑවා" කියා ඇත්ත වසන් කරන්න හැදූ TikTok තරුවත් අත්අඩංගුවට
පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික වන සත්ව ගොවිපලකදී TikTok වීඩියෝවක් රූගත කිරීමට සූදානම් වෙමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු වන සතෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ අදාළ ගොවිපලේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
'තාල්හා' නමැති මෙම තරුණයා ලාහෝර්හි කහ්නා ප්‍රදේශයේ පිහිටි වන සතුන් ඇති කරන ගොවිපලක සේවය කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, TikTok වීඩියෝ සඳහා වන සතුන් යොදාගනිමින් අන්තර්ගත නිර්මාණය කරන නෝමන් හසන් නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා එදින එම ගොවිපලට පැමිණ තිබුණේ වීඩියෝවක් රූගත කිරීම සඳහාය.
එහිදී විශාල බළල් පවුලට අයත් වන සතෙකු පාලනයෙන් මිදී තරුණයාට පහර දී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තාල්හා වහාම පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නෝමන් හසන් සහ ගොවිපල හිමිකරු වන ෆයාස් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, තරුණයාට තුවාල සිදුව ඇත්තේ බල්ලෙකුගේ ප්‍රහාරයකින් බව පවසමින් සැබෑ සිදුවීම වසන් කිරීමට උත්සාහ කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, ඔහුට පහර දී ඇත්තේ විශාල වන සතෙකු විසින් බව පසුව තහවුරු වී ඇත.
අනතුරුව අදාළ සත්වයා පන්ජාබ් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. ගොවිපල තුළ එම සත්වයා ඇති කිරීම සඳහා නිසි බලපත්‍ර ලබාගෙන තිබුණේද සහ ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගෙන තිබුණේද යන්න පිළිබඳව බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවිය හැකි නොසැලකිලිමත්කම සහ අනතුරේ සැබෑ තොරතුරු වසන් කිරීමට දැරූ උත්සාහය පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වයි. ලාහෝර් මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය පොලිස්පති ෆයිසාල් කම්රාන් ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය වීඩියෝ හෝ විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් මිනිස් ජීවිත අවදානමට ලක් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ගොනු කර ඇති අතර, මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.
මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය සඳහා වීඩියෝ නිර්මාණය කිරීමේදී භයානක වන සතුන් යොදා ගැනීම සහ පාකිස්තානයේ පෞද්ගලික වනජීවී මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් අවධානය යොමුව තිබේ.
අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න