සෞඛ්‍ය අංශයට සුබ ආරංචියක් - හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්
මෙරට රජයේ ප්‍රධාන රෝහල් පද්ධතියේ හෘද රෝග ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath lab) 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3,103ක මුළු මුදලක් වැය කෙරෙනු ඇත.
මෙම යන්ත්‍ර කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල්වලට අමතරව මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රධාන රෝහල් රැසක ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
මෙහිදී මඩකළපුව, රත්නපුර, බදුල්ල සහ ගාල්ල යන රෝහල් සඳහා අවශ්‍ය යන්ත්‍ර 4 වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 715ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 1,188ක් වැය කරමින් කොළඹ, මහනුවර, යාපනය සහ කලුබෝවිල රෝහල් සඳහා යන්ත්‍ර 6ක් ලබා දීමට නියමිතය.
එසේම ජයිකා (JICA) ආධාර යටතේ රුපියල් මිලියන 1,200ක වියදමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය යන රෝහල් සඳහා තවත් යන්ත්‍ර 6ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.
දැනට දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක වන හෘද කැතීටකරණ යන්ත්‍ර 10ට අමතරව මෙම නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමඟ සමස්ත යන්ත්‍ර සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ යනු ඇත.
මෙහි ප්‍රධානතම ප්‍රතිඵලය වන්නේ හෘද රෝගීන් සඳහා ශල්‍යකර්ම සහ පරීක්ෂණ වෙනුවෙන් පවතින දීර්ඝ පොරොත්තු ලේඛන අවම කරමින්, කොළඹට පමණක් සීමා නොවී දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාවට ද කඩිනම් සහ ගුණාත්මක ප්‍රතිකාර ලබා දීමට අවස්ථාව සැලසීමයි.