වහාම මෙය සිදු නොකළොත් ඉදිරි මාස දෙක තුළ මුළු කොළඹම අනතුරේ.. අගමැතිනියගෙන් වහාම ක්රියාත්මක වෙන්නයි උපදෙස්
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් තාර සහ කාපට් හිඟය නිසා සංවර්ධන කටයුතු ප්රමාද වන මාර්ග සඳහා විකල්පයක් ලෙස කොන්ක්රීට් හෝ ඉන්ටර්ලොක් ගල් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරි මාස දෙක තුළ ඇදහැලෙන වර්ෂාව හමුවේ ඇතිවිය හැකි ගංවතුර අවදානම වැළැක්වීමට ආයතනික ගැටලුවලින් තොරව වහාම කොළඹ ඇළ මාර්ග පිරිසිදු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
ඇය මෙම උපදෙස් දී ඇත්තේ අග්රාමාත්යවරියගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවති කොළඹ දිස්ත්රික් සැලසුම් කමිටු රැස්වීමේදීයි.
එහිදී කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මඟින් ක්රියාත්මක කෙරෙන සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම සිදු විය.
මේ අතර කොළඹ දිස්ත්රික්කයේ ග්රාමීය මාර්ග සංවර්ධන ව්යාපෘති පිළිබඳව කරුණු දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ, තාර හා කාපට් නොමැතිකම නිසා ඇතැම් මාර්ගවල වැඩ අවසන් කිරීමට නොහැකිව ගැටලු මතුව තිබෙන බවයි.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්රකාශ කළේ, කොන්ක්රීට් දැමීමට වඩා ජනතාව නිතරම ඉල්ලා සිටින්නේ කාපට් ඇතිරීම බවයි.
"මිනිස්සුන්ගේ කැමැත්තක් නෑ කොන්ක්රීට්වලට... කාපට්ම තමයි ඉල්ලන්නේ. ඒක ආකල්පමය ප්රශ්නයක්. කාපට් කරලා ඉවරවෙලා සුදු ඉර ඇන්දහම හරි ලස්සනයි කියලයි මිනිස්සු කියන්නේ,"
එයට ප්රතිචාර වශයෙන් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විමසා සිටියේ, "ඇයි කොන්ක්රීට් එකට සුදු ඉර අඳින්න බැරිද?" යනුවෙන්.
එමෙන්ම කාපට් ප්රශ්නය මතම රැඳී නොසිට ජනතාව දැනුවත් කර විකල්ප ක්රමවේද ඔස්සේ මාර්ග සංවර්ධනය කඩිනම් කළ යුතු බවද එහිදී අවධාරණය කර ඇත.
ලබන මාස දෙකක කාලය තුළ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, කොළඹ නගරය සහ ඒ අවට ප්රදේශ ජලයෙන් යටවීම වැළැක්වීමට සියලු ඇළ මාර්ග පිරිසිදු කිරීමේ දැඩි අවශ්යතාවක් පවතින බව ද අගමැතිනිය මෙහිදී සඳහන් කළා.
එසේම ඇළ මාර්ග නඩත්තුව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිතිද නැතහොත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයිතිද යන්න පිළිබඳව නිලධාරීන් අතර මෙහිදී වාද විවාද ඇති වූ අතර, ඊට මැදිහත් වූ අගමැතිනිය අවධාරණය කළේ, වගකීම් සහ අයිතිවාසිකම් පවසා එකිනෙකාට ඇඟිලි දිගු නොකර වහාම ක්රියාත්මක වන ලෙස අදාළ ආයතන එක්ව ඇළ මාර්ග පිරිසිදු කිරීමට පියවර ගත යුතු බවයි.
එමෙන්ම ඇය වැඩිදුරටත් අවධාරණය කළේ නිසි කලට ඇළ මාර්ග පිරිසිදු නොකිරීමෙන් මහජනතාව පීඩාවට පත්වීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවයි.