"සුපිරි තරු රජිනිකාන්ත්ගේ 'Jailer 2' නිසා ලෝකයම හොල්ලයි! ජපානය, ඩුබායි, ඇමෙරිකාව උත්සව භූමි වෙයි
සුපිරි තරු රජිනිකාන්ත්ගේ බොහෝ දෙනා බලා සිටි ‘Jailer 2’ චිත්රපටය වටා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක රසික උන්මාදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ජපානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්යය, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල රසිකයන් චිත්රපටය වෙනුවෙන් උත්සවශ්රීයෙන් සැමරුම් සංවිධානය කර තිබේ.
India Today වාර්තා කරන පරිදි, රසිකයන් ගිනිකෙළි, නර්තන, ආගමික වතාවත් සහ අලුයම පැවැත්වෙන විශේෂ දර්ශන ඔස්සේ චිත්රපටයේ නිකුතුව සමරමින් සිනමාහල් අවට පරිසරය උත්සව භූමි බවට පත් කර ඇත. චෙන්නායිහිදී රජිනිකාන්ත්ගේ දියණිය වන සෞන්දර්යා, කාසි රඟහලෙන් පිටත රසිකයන් සමඟ එක්ව බෙර වාදනයට නර්තනයේ යෙදීම ද විශේෂ අවධානයක් දිනාගෙන තිබේ.
මේ අතර, බැංගලෝරයේ රසිකයන් ගිනිකෙළි දල්වමින්, ආගමික වතාවත්වල නිරත වෙමින් සහ රජිනිකාන්ත්ගේ දැවැන්ත රූප සහිත කටවුට් මල්මාලාවලින් සරසමින් අලුයම දර්ශන සඳහා සිය උද්යෝගය පළ කර තිබේ. ඩුබායිහි සිනමාහල් අලුයම 3 පමණ වන විටත් ප්රේක්ෂකයන්ගෙන් පිරී තිබූ බව වාර්තා වන අතර, සිංගප්පූරුවේ, කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද රසිකයන් විශාල පිරිසක් මෙම සිනමා අත්දැකීමට එක්ව සිටියහ.
මෙම නිකුතුවේ තවත් විශේෂත්වයක් වන්නේ ඉන්දියාවේ සහ ජපානයේ එකවර නිකුත් වන රජිනිකාන්ත්ගේ පළමු චිත්රපටය ලෙස එය වාර්තා වීමයි. නෙල්සන් දිලිප්කුමාර්ගේ අධ්යක්ෂණයෙන් හැඩවන ‘Jailer 2’ චිත්රපටයේ රජිනිකාන්ත් නැවතත් විශ්රාමික බන්ධනාගාර පාලක මුතුවේල් පාණ්ඩියන්ගේ චරිතයට පණ පොවයි.
මොහාන්ලාල්, ශිව රාජ්කුමාර්, එස්. ජේ. සූර්යා සහ විද්යා බාලන් ඇතුළු ජනප්රිය නළු නිළියන් ද මෙහි රංගනයෙන් දායක වන අතර, සංගීත අධ්යක්ෂණය අනිරුද් රවිචන්දර් විසිනි. දශක ගණනාවක් පුරා දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් ලෙස වැජඹෙන රජිනිකාන්ත් වෙනුවෙන් ලොව පුරා රසිකයන් දක්වන මෙම අසීමිත උද්යෝගය, ඔහුගේ ජනප්රියත්වය කාලයත් සමඟ මැකී නොයන බව යළිත් සිහිපත් කරයි.