නෝර්වුඩ් කෝටි 6ක අස්වැසුම වංචාව හෙළිවෙයි - සේවකයින් 14ක් ස්වේච්ඡාවෙන්ම වරද පිළිගනී
නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා සහගත ලෙස ලබා ගත් බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු එම කාර්යාලයේ සේවකයින් 14 දෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට රාජ්ය පරිපාලන අමාත්යාංශය වෙත ලිඛිතව දැනුම් දුන් බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කර තිබේ.
එම කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි නිලධාරින් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. එම නිලධාරින් දෙදෙනා විසින් මුදල් බැර කර තිබූ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දිස්ත්රික් තරුණ සේවා නිලධාරියෙකු සහ හැටන් කලාපයේ ගුරුවරු හය දෙනෙකුගේ වැඩ විමර්ශනයකට යටත්ව තහනම් කර තිබුණි .
නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු කර ඇති අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් විගණන අංශ විසින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ එම කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින්, සමෘද්ධි නිලධාරින් ඇතුළු තවත් අංශ කිහිපයක සේවකයින් 14 දෙනෙකු 2023 වසරේ සිට අස්වැසුම මුදල් වංචා සහගත ලෙස ලබා ගත් බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.
ඉන් අනතුරුව ප්රාදේශීය ලේකම්වරයා විසින් ඒ පිළිබඳව නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම්දීමෙන් පසුව දිස්ත්රික් ලේකම්වරිය විසින් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනයක් සිදු කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස රාජ්ය පරිපාලන අමාත්යාංශය වෙත දැනුම්දී තිබේ
නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවී ඇති අස්වැසුම මුදල් වංචාව රුපියල් කෝටි 6කට ආසන්න බැවින් එහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ .