ලංකාවට ලැබුණු ලොකුම සෘජු විදෙස් ආයෝජනයෙත් කොස්සක්
මෙරටට ලැබුණු විශාලතම සෘජු විදෙස් ආයෝජනය වන හම්බන්තොට පිහිටුවීමට ගිවිසුම්ගත ඩොලර් බිලියන 3.7 ක් වටිනා තෙල් පිරිපහදුවෙන් නිපදවන ඛනිජ තෙල්වලින් සියයට 40 ක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට චීනයේ සයිනොපෙක් සමාගම කර ඇති ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබෙන බවක් දැනගන්නට ලැබී ඇත.
එසේම ගිවිසුම අනුව අනුමැතිය හිමි වී ඇති සියයට 20 ඉක්මවා එම ප්‍රමාණය මෙන් දෙගුණයක නිෂ්පාදන වෙළෙඳ පොළේ අලෙවි කිරීමට සමාගම කර ඇති ඉල්ලීම ඉටු කිරීම අපහසු බවද රජය දන්වා තිබෙන බව සඳහන්.
එහෙත් සියයට 20 ට වඩා සුළු ප්‍රතිශතයකින් එම ප්‍රමාණය ඉහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව රජය දන්වා තිබෙන බවද සඳහන්.
මේ අතර බොහෝ විට සියයට 25 ක් දක්වා එම ගිවිසුම්ගත ප්‍රතිශතය ඉහළ නැංවිය හැකි ද යන්න රජයේ අවධානයට ලක්ව ඇති බවද ආරංචි මාර්ග පවසයි.
එසේම එම ආරංචි මාර්ග සඳහන් කළේ ආයෝජන මණ්ඩල පනත අනුව ශ්‍රී ලංකාවේ ආයෝජන කලාපවල ඉදිකරන කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනවලින් දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර ඇත්තේ සියයට 20 ක් පමණක් වුවත් හම්බන්තොට තෙල් පිරිපහදුවෙන් නිපදවන තෙල්වලින් සියයට 40 ක ප්‍රමාණයක් දේශීය වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට අදාළ චීන ආයෝජක සමාගම කර ඇති ඉල්ලීම එම පනතේ නියමයන්ට පටහැණි බවයි.
මේ පිළිබඳ නීතිමය තත්ත්වය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරියෙක් ආයෝජන මණ්ඩල පනත අනුව ඕනෑම කර්මාන්තකරුවකු නිපදවන නිෂ්පාදනවලින් සියයට 80 ක් අපනයනය කළ යුතු බවත් ඉතිරි සියයට 20 දේශීය වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීම සඳහා අවසර ලැබෙන බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ අතර එම පිරිපහදුවෙන් නිපදවන බනිජ ද්‍රව්‍ය සියයට 40 ක ප්‍රමාණයක් දේශීය වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට අදාළ චීන සමාගමට අවසර ලබා දුනහොත් ඉන් ශ්‍රී ලංකා බලශක්ති ස්වාධීනතාවට ගැටලු මතු වේ දැයි සම්බන්ධයෙන් ද රජයේ අවධානයට ලක්ව තිබෙන බව ආරංචි වේ.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම වසරේ ජනවාරිවල දී චීනයේ කළ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ දී අදාළ තෙල් පිරිපහදුව ඉදිකිරීමට වූ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
එමෙන්ම එම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් ද ඉකුත් 15 වන දින පැවැත්වුණා.
එම අවස්ථාවේදී එම නිලධාරීන් අමාත්‍යවරයාට කියා තිබුණේ පිරිපහදුවේ කටයුතු වහාම ආරම්භ කරන බවයි.
එසේම මේ වසර තුළ පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ඇති බව රජයේ බලාපොරොත්තුව බව එහිදී අමාත්‍යවරයා සමාගමේ නියෝජිතයන්ට දන්වා ඇති බව සඳහන්.
තවද එහිදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ වන විට පවතින ගැටලු වහාම විසඳීමට තමා මැදිහත් වෙන බව ද එහිදී විදේශ අමාත්‍යවරයා නියෝජිත පිරිසට දැනුම් දුන් බව එම අමාත්‍යාංශය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්.