පාසල් සිසුන්ට ලබන වසරේ සිට නව ඉගෙනුම් ප්‍රතිසංස්කරණයක් ..

By Sithumi Nov 01, 2022 02:37 PM GMT
Sithumi

Sithumi

Report

නවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

  සියලු ම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතු ව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම පෘථුල පරිවර්තනයකට ලක් කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි 

 එමෙන්ම වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම්වලින් විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කරගැනිමේ අභියෝගයකට ද අප මුහුණ දී සිටින බව ඒ මහතා ප්‍රකාශ කරයි. 

ඒ අනුව පාසලට නොපැමිණිය යුතු නුසුදුසු ආහාර ආදී විවිධ භාවිතයන් හා සිරිත් පාසල්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් එකසිය හතළිස් හතරේ ම ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහාය ද මීට ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරයි

 අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ කලාපයේ පැවති, එම කලාපයේ තෝරාගත් පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි. 

 අමාත්‍යවරයාගේ ඉල්ලිම පරිදි කඩුවෙල ඇලුමිනියම් කර්මාන්ත සංගමය මෙම උපකරණ පරිත්‍යාග කරන ලදි. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ඉදිරියේ දී දිපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. – මාධ්‍ය ඒකකය