සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.
මූලික වැටුපේ වර්ධනයක් ද සහිතව රාජ්‍ය සේවකයන් සඳහා දැනෙන වැටුප් වැඩි වීමක් සිදුකෙරෙන සහ පොදුවේ සාමාන්‍ය ජනයාගේ ජීවන බර සමනය කිරීමට වැඩි අවධානයක් යොමු කරන අයවැයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා.
රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වන යෝජනා මෙන්ම අයවැය යෝජනා සැකසීමේ දී රටේ සෑම ජන කොටසක් ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් වන යෝජනා මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
බදු ආදායම් තවත් වර්ධනය කර ගැනීම සඳහා බදු දැල සඳහා බදු යාන්ත්‍රණය පුළුල් කිරීමට ද මෙවර අයවැයේ අවධානය යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගෙන ඇති එකඟතාවලට අනුව මේ වර්ෂයේ (2025) දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.1 ක් දක්වා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ද අවශ්‍ය වනවා.
දැනට පවතින සහනාධාර ලබා දෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින් සහනාධාර අත්‍යවශ්‍ය ප්‍රජාව වෙත ලැබෙන බවට නිශ්චය කර ගැනීමට හා එම ක්‍රියාවලිය කඩිනම් කිරීම ගැන ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම වර්ෂය (2025) සඳහා වන රජයේ අයවැය ලේඛනය හෙට උදේ 10.30 ට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වීමද විශේෂත්වයක්.
මේ අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 09 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
අයවැය දෙවන වර කියවීමට අදාළ විවාදය 2025 පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 වැනිදා දක්වා දින හතක් පවත්වනු ලබයි.
පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ලැබේ.
මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
පසුගිය 13 වැනිදා පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැති අතර අයවැයට අදාළ තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡා වී ඇති බවයි පැවසෙන්නේ.
You May Like This Video
