“ලෝක නායකයන් එක්වන සුන්දර භාරත් මණ්ඩපය” - ඉන්දීය ශිෂ්ටාචාරයේ සංකේත මැද BRICS සමුළුව
2026 BRICS සමුළුව වෙනුවෙන් ලොව ප්‍රබල රාජ්‍ය නායකයන් නවදිල්ලියට පැමිණෙමින් සිටින අතර, ඔවුන් පිළිගැනීම සඳහා දිල්ලි නගරයේ පිහිටි අති නවීන භාරත් මණ්ඩපය මේ වන විට සූදානම් කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු ලෝක නායකයන් සහ නියෝජිතයන් සහභාගී වන මෙවර BRICS සමුළුවේ ප්‍රධාන සාකච්ඡා සහ විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වෙන්නේ මෙම අතිවිශිෂ්ට සම්මේලන මධ්‍යස්ථානයේදීය.
භාරත් මණ්ඩපය ගැන
නවදිල්ලියේ ප්‍රගති මයිදාන් සංකීර්ණය තුළ පිහිටි භාරත් මණ්ඩපය අක්කර 123ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, එය ඉදිකිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 2,700ක පමණ මුදලක් වැය කර තිබේ.
2023 වසරේ විවෘත කළ මෙම අති නවීන සම්මේලන මධ්‍යස්ථානය, ජාත්‍යන්තර සමුළු සහ විශාල පරිමාණයේ උත්සව පැවැත්වීමේ හැකියාව සහිත ඉන්දියාවේ ප්‍රධාන ස්ථානයක් බවට පත්ව තිබේ.
මෙවර BRICS සමුළුවේදී නායකයන් සහ නියෝජිතයන් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා සඳහාද භාරත් මණ්ඩපය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වනු ඇත. ‘භාරත් මණ්ඩපය’ යන නාමය 12 වැනි සියවසේ පැවති ‘අනුභව මණ්ඩපය’ යන ඓතිහාසික සංකල්පයෙන් ආභාසය ලබාගෙන ඇති බව සඳහන් වේ.
එය මහජන සංවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් හුවමාරුව සඳහා වූ මුල්ම වේදිකාවලින් එකක් ලෙස සැලකේ.
මීටර් 27ක් උස නටරාජ පිළිරුව
භාරත් මණ්ඩපයේ කැපී පෙනෙන ආකර්ෂණයක් වන්නේ මීටර් 27ක් පමණ උසින් යුත් දැවැන්ත නටරාජ පිළිරුවයි.
ටොන් 18ක් පමණ බරින් යුත් මෙම පිළිරුව අෂ්ටධාතු මිශ්‍ර ලෝහයෙන් නිර්මාණය කර ඇති අතර, එය තමිල්නාඩුවේ ශිල්පීන් විසින් නිමවා තිබේ.
කෙසේ වෙතත්, භාරත් මණ්ඩපයේ විශේෂත්වය එහි විශාලත්වයට හෝ අලංකාරයට පමණක් සීමා නොවේ.
ඉන්දීය ශිෂ්ටාචාරය නිරූපණය කරන නිර්මාණ
භාරත් මණ්ඩපයේ ප්‍රධාන සම්මේලන ගොඩනැගිල්ලේ හැඩය නිර්මාණය කර ඇත්තේ ශංඛයක ආකාරයෙනි.
එය සවිඥානකත්වය, ශක්තිය සහ සුබ ආරම්භයක් සංකේතවත් කරන බව සඳහන් වේ. ගොඩනැගිල්ලේ බාහිර සහ අභ්‍යන්තර සැලසුම් තුළ ඉන්දීය ශිෂ්ටාචාරයේ විවිධ අංග නිරූපණය කර තිබේ. ඒ අතර ‘සූර්ය ශක්ති’ සංකල්පය, ශුන්‍යයේ සිට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) දක්වා පැමිණි ඉන්දියාවේ ගමන සහ ‘පංච මහා භූත’ හෙවත් ස්වභාවධර්මයේ මූලික මූලද්‍රව්‍ය පහද ඇතුළත් වේ.
''iPhone සහ Android සටන උණුසුම් වෙයි'' - iPhone 18 Pro Maxට අභියෝග කරන සුපිරි Android දුරකථන 5ක් මෙන්න
ලෝක නායකයන්ගේ වැදගත් සාකච්ඡා සඳහා වේදිකාවක්
භාරත් මණ්ඩපයේ සමුළු ශාලාවට රටවල් 150කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සඳහා පහසුකම් සැලසිය හැකි බව වාර්තා වේ.
BRICS නායකයන් අතර ඉදිරි දින දෙක තුළ පැවැත්වෙන තීරණාත්මක ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා සඳහා මෙම ස්ථානය භාවිත කිරීමට නියමිතය.
ශාලා අංක 1 තුළ ‘Bharat Innovates’ වැඩසටහන පැවැත්වී ඇති අතර, එහිදී ඩ්‍රෝන තාක්ෂණය ඇතුළු නවීන සහ නැගී එන තාක්ෂණික නවෝත්පාදන රැසක් ප්‍රදර්ශනය කර තිබේ. එම ශාලාවේදී BRICS සංවිධානයේ දශක දෙකක ගමන් මඟ සහ එහි අනාගතය පිළිබඳ විශේෂ වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.
ව්‍යාපාරික නායකයන් එක්වන ස්ථානය
ශාලා අංක 14 BRICS ව්‍යාපාරික සංසදයේ රැස්වීම සඳහා වෙන්කර තිබේ. BRICS රටවල ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික නියෝජිතයන් එහිදී වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ද එහිදී ව්‍යාපාරික ප්‍රජාව ඇමතීමට නියමිත බව වාර්තා වේ.
මාධ්‍යවේදීන් 1,400කට ආසන්න පිරිසකට පහසුකම්
BRICS සමුළුව ආවරණය කිරීම සඳහා ලොව පුරා මාධ්‍යවේදීන් 1,200ත් 1,400ත් අතර පිරිසක් නවදිල්ලියට පැමිණීමට නියමිතය.
ඔවුන් වෙනුවෙන් භාරත් මණ්ඩපයේ ශාලා අංක 5 තුළ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
සමුළුවට අදාළ ප්‍රධාන නිවේදන, විශේෂ වැඩසටහන් සහ දෘශ්‍ය දර්ශන ලොව පුරා මාධ්‍ය වෙත ලබාදීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස එය ක්‍රියාත්මක වනු ඇත.
BRICS සමුළුවේ අවධානය යොමුවන කරුණු
මෙවර BRICS සමුළුවේදී ලෝකයට බලපාන ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
රුසියා-යුක්‍රේන යුද්ධය, මැදපෙරදිග පවතින නොසන්සුන්තාව, එම ගැටුම්වල පුළුල් බලපෑම් සහ ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්ති ඒ අතර ප්‍රධාන වේ.
එමෙන්ම කෘත්‍රිම බුද්ධිය හෙවත් AI මඟින් ලෝකයට එල්ල වන අභියෝග පිළිබඳවද ලෝක නායකයන් සහ විශේෂඥයන් අදහස් දැක්වීමට නියමිතය.
BRICS සාමාජික රටවල් අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද මෙවර සමුළුවේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට ඉඩ ඇති බව වාර්තා වේ. ඒ අනුව, ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයන් රැසක් එක්වන 2026 BRICS සමුළුව සඳහා භාරත් මණ්ඩපය මේ වන විට ජාත්‍යන්තර අවධානයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.