හයිඩ්‍රජන් බලශක්තියට රජයේ අවධානය - ශක්තිමත් පරිසරයකට නව පියවරක්
රටේ බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම ලෙස භාවිත කිරීම රජයේ ප්‍රතිපත්තිය බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුළාර ජයකොඩි පවසා සිටියේ අද (18) කොළඹදී පැවැති “ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය හයිඩ්‍රජන් ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුව” ආරම්භක අවස්ථාව අමතමිනි.
රටේ පුනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එම බලශක්තිය විදුලිබල පද්ධතියට එකතු කිරීමේ ධාරිතාව වැඩි කිරීම සඳහා සම්ප්‍රේෂණ, ගබඩාකරණ සහ යටිතල පහසුකම් දියුණු කිරීමට කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
“විදුලිබල ජනනය සඳහා හයිඩ්‍රජන් භාවිතය අනාගතයට ඉතා වැදගත් වේ. ඒ සඳහා මූලික පියවරක් ලෙස හයිඩ්‍රජන් ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම සිදුවේ. එම ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් සමඟ පැවැත්වෙන මෙම උපදේශන සමුළුව ඉතා වැදගත් පියවරකි. එසේම, විවිධ රටවල විශේෂඥයින්ගේ සහාය ලබා ගනිමින්, විශේෂයෙන් ලොව දියුණු රටවල දීර්ඝ කාලයක් හයිඩ්‍රජන් ක්ෂේත්‍රයේ නියැළුනු ශ්‍රී ලාංකික විද්වතුන්ගේ සහ විදේශීය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට හැකිවීම අපගේ ජයග්‍රහණයකි. මේ සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය ලබා දෙන ආයතනවලට සහ විශේෂඥයින්ට ස්තුතිවන්ත වෙනවා"