ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින
කොළඹ මහාධිකරණය, හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු 18 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
මෙම නඩුව අද (06) මොහොමඩ් මිහාල් මහේස්ත්‍රාත් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව මාර්තු 18 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.
2010 සිට 2014 දක්වා කාලය තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
ඒ අනුව හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව පවරා ඇත.