අලුත් ලංවිම ජනන සමාගමේ ආදායමට දැවැන්ත මූල්‍ය අලාභයක් - නොරොච්චෝල විදුලි ජනනය 180කින් පහළට
බලශක්ති විශේෂඥ විධුර රලපනාව මහතා විසින් නොරොච්චෝල ලක්විජය බලාගාරයට දැනට සපයනු ලබන බාල ගල්අඟුරු නිසා ජාතික පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව විශාල ලෙස පහත වැටී ඇති බවත්, ඒ ඔස්සේ රජයට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වෙමින් පවතින බවත් ප්‍රකාශ කරයි.
ඒ අනුව මාර්තු 05 දත්තයන්ට අනුව, නොරොච්චෝල බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්ව ඇත්තේ මෙගාවොට් 630ක් පමණක් වන අතර, එය බලාපොරොත්තු වූ ධාරිතාවට වඩා මෙගාවොට් 180ක අඩුවක් බව සඳහන්.
කෙසේ වෙතත් මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වූයේ මීට පෙර රුසියාවෙන් ගෙන්වන ලද උසස් තත්ත්වයේ ගල්අඟුරු වෙනුවට දැනට දකුණු අප්‍රිකාවෙන් ගෙන්වනු ලබන ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීමයි.
එමෙන්ම ලක්විජය බලාගාරයේ 1 සහ 2 ඒකක මෙගාවොට් 300 බැගින් වූ සාමාන්‍ය ධාරිතාව වෙනුවට ක්‍රියාත්මක වන්නේ පිළිවෙළින් මෙගාවොට් 230ක් සහ 233ක් වශයෙන්.
එබැවින් මෙම ඒකක දෙකෙන් පමණක් මෙගාවොට් 77ක පාඩුවක් සිදු වන බව වාර්තා වේ. එසේම 3 වන ඒකකය ගල්අඟුරු මෝල් අවහිර වීම නිසා මෙම ඒකකය ක්‍රියාත්මක වී ඇත්තේ මෙගාවොට් 159ක ඉතා අඩු ධාරිතාවකින් බව සඳහන්.
ඊට අමතරව පද්ධතියේ පවතින දෝෂ නිසා අළු සහ සල්ෆර් පෙරණ (Ash and sulphur filters) මඟහැර යාමට සිදුව තිබූ බවත්, මේ හේතුවෙන් දිනක් තුළ පමණක් පියාසර අළු ටොන් 350ක් සහ විශාල වශයෙන් අම්ල වායු (SOx) පරිසරයට මුදා හැරී තිබෙන බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ඊයේ දිනය වන විට එම පෙරණ යථා තත්ත්වයට පත් කර තිබුණද, සිදුවූ පරිසර හානිය සුළුපටු නොවන බව වාර්තා වේ.
මේ අතර ගල්අඟුරු බලාගාරයේ ධාරිතාව අඩුවීම නිසා එම හිඩැස පිරවීමට අධික පිරිවැයක් සහිත ඩීසල් සහ දැවී තෙල් බලාගාර (Thermal-Oil) භාවිත කිරීමට සිදුව ඇත.
එනිසා මාර්තු 05 දින රාත්‍රී 19:45 වන විට තාප විදුලිය මෙගාවොට් 946ක් දක්වා ඉහළ අගයක පවත්වා ගැනීමට සිදුව තිබූ බව සඳහන්.
ඒ අනුව රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේ අලුතින් පිහිටුවන ලද ලංවිම ජනන සමාගමේ ආදායම එහි ප්‍රකාශිත ධාරිතාව මත පදනම් වන බැවින්, මෙම අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වය නිසා එම සමාගම සිය පළමු වසරේම දැවැන්ත පාඩුවකට ලක්වනු ඇති බවයි.