ලංකාව ළඟ තවත් මිලිටරි වැඩ තියයි ද? ඇමරිකාවෙන් සහතිකයක් ගන්න බැරිකම ගැන UNP ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාකාරකම් නොගන්නා බවට ඇමරිකා එක්සත් ජනපදයෙන් සහතිකයක් ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ ඇමරිකානු සබ්මැරීනයක් මගින් ඉරාන නෞකාවක් (යුද නෞකාවක්) ගිල්වා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම නිහඬව සිටීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය බරපතල කනස්සල්ල පළ කර තිබේ.
මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ඉන්දියන් සාගරයේ සුවිශේෂී ආර්ථික කලාපය ලාංකික වාණිජ අවශ්‍යතාවන්ට ද බලපෑම් ඇති කරන යුද කලාපයක් බවට පත්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
එබැවින් නැව්ගත කිරීමේ පිරිවැය සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම, ජීවන වියදම් වැඩිවීම ඇතුළුව රටේ ආර්ථිකයට සෘජුවම බලපෑම් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය අනතුරු ඇඟවීමක් කර තිබේ.
එමෙන්ම රජයට ඇමරිකාවෙන් මෙවැනි තවත් මිලිටරි ක්‍රියාමාර්ග නොමැති බවට සහතිකයක් ලබා ගැනීමටත්, මෙම සිදුවීම් පිළිබඳව ජනතාවට විස්තරාත්මකව දැනුම් දීමටත් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.