එන්නත්කරණයට සෞඛ්‍යය ලේකම්ගෙන් බලපෑම්..GMOA දැඩි අප්‍රසාදය

vaccination GMOA pfyzer heath secretary
By Sewvandhi Sep 03, 2021 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත්‍රා ප්‍රමාණවත් ලෙස නිකුත් නොකිරීම හේතුවෙන් එම මධ්‍යස්ථානවල අධික තදබදයක් ඇති වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ හේතුවෙන් එන්නත් මාත්‍රා ප්‍රමාණවත් නොවීම මත එන්නත නොලබා එම මධ්‍යස්ථානවලින් පිටව යාමට සිදු වන මහජනතාවගේ දෝෂාරෝපණ සෞඛ්‍ය අංශය මත පැටවී ඇත බවය.

එසේ වුව ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා කිසිදු හිඟතාවයකින් තොරව හමුදාව වෙත අඛණ්ඩව එන්නත් මාත්‍රා නිකුත් කරන බව එම සංගමය චෝදනා කරයි.

එමෙන් ම, ෆයිසිර් එන්නත් මාත්‍රා හමුදාව මගින් පමණක් ලබා දීමට ද විද්‍යාත්මකව සැකසූ එන්නත්කරණ ක්‍රමවේදයෙන් පරිබාහිරව තෝරා ගත් ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට (වයස අවුරුදු 20-30) එන්නත් ලබා දීමට ද කටයුතු කරන බවක් පෙනී ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් අවධාරණය කළේ, මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බව දක්නට ලැබෙන බවය.

ඊට ප්‍රධානතම හේතුව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා වෙත දක්වන අසාමාන්‍ය ලැදියාවත්, විද්‍යාත්මක නොවන අක්‍රමවත් තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සිදු කරන බලපෑම බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

ලෝකයේ කීර්තිමත් පිළිගැනීමක් සහිත සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින් ජනතාව අපසහුතාවට හා අවදානමට පත් කරන මෙම ක්‍රියාවලිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලවත් අප්‍රසාදය පළ කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now