මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්
වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍ය හිඟයට වහා විසඳුම් ඉල්ලා එළැඹෙන 10 වැනිදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමය සඳහන් කරන්නේ අදාළ විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
වසර ගණනාවක් පුරාවට නොවිසඳුණු වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් අපේක්ෂාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.
2022 ආර්ථික අර්බුදයත් සමඟ වෛද්‍යවරුන්ට ලබාදුන් බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර අහෝසි කිරීම, අධික බදු පැනවීම සහ 2025 රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයේදී අත්හිටවූ අමතර රාජකාරී හා නිවාඩු දින දීමනා නැවත නොගෙවීම හේතුවෙන් වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
එමෙන්ම 2015 වසරෙන් පසු සෞඛ්‍ය සේවාවේ සේවා පරිමාව සහ ආයතන සංඛ්‍යාව ඉහළ ගියද ඊට ගැළපෙන පරිදි අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව සංශෝධනය කර නොමැති බවද සංගමය පෙන්වා දෙයි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාකාරී සේවයේ නිරත වෛද්‍යවරුන් සංඛ්‍යාව 25,000කට අඩු බැවින් පවතින වෛද්‍ය හිඟය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අධික වැඩබරක් පැවරී ඇත.
මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් 2027 අයවැය යෝජනා සඳහා සකස් කළ යෝජනාවලියක් ඉකුත් අගෝස්තු මාසයේදී රජයට ඉදිරිපත් කළද ඊට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පසුගිය සතියේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ද විරෝධතා පැවැත්විණි.
ඒ අනුව වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලුවලට විසඳුම් ලබාදීම, වෛද්‍ය හිඟය පියවීම සඳහා අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීම සහ සාධාරණ ඉල්ලීම් මර්දනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට විරෝධය පළකිරීම මුල්කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.