මෙරටට ලැබෙන ෆයිසර් එන්නත් වලට කරන්න යන දේ මෙන්න.

Health pfizer GMOA
By Sithumi Sep 03, 2021 12:55 PM GMT
Sithumi

Sithumi

Report

ඉතා සීමිත ගණනක් ලැබෙන Pfizer එන්නත වයස අවුරුදු 12-17ත් අතර පාසල් දරුවන්ට ලබාදීම වඩාත් යෝග්‍ය බව අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (සැප්. 3) දින සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායටත් ලිඛිතව දැනුම් දී තිබේ.

එමගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව වයස අවුරුදු 18ට අඩු සහ වයස අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා ලබාදීමට මෙතෙක් අනුමැතිය ලැබී ඇති සහ නිෂ්පාදකයින්ගේ අනුමැතිය ඇති එක ම කොවිඩ් එන්නත් වර්ගය Pfizer එන්නත බවය. මේ වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත්කරණය සඳහා පහසුවෙන් ලබා ගත හැක්කේ Sinopharm එන්නත සහ Pfizer එන්නත බවත් Sinopharm එන්නත සඳහා අනුමැතිය ලැබී ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා ලබා දීමට පමණක් බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

එබැවින් වයස අවුරුදු 18ට වැඩි ජනතාව සඳහා එන්නත්කරණය කිරීමට Sinopharm එන්නත භාවිතා කළ හැකි බවත් ඉතාමත් සීමිතව ලැබෙන Pfizer එන්නත් මාත්‍රා වයස අවුරුදු 12-17ත් අතර පාසල් දරුවන් සඳහා ලබාදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවත් ඔවුන් පෙන්වාදී ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනුව Pfizer එන්නත් මාත්‍රා මිලියන 4ක් ඔක්තෝබර් මාසය වන විට ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත බව ද ඔවුන් එම ලිපිය මගින් දන්වා තිබේ. වයස අවුරුදු 12-17ත් අතර පාසල් දරුවන්ගේ ජනගහනය දළ වශයෙන් මිලියන 2-2.4 වන බවත් එම වයස් කාණ්ඩයට ඇතුළත් වන දරුවන් එන්නත්කරණය කිරීම සඳහා Pfizer එන්නත් මාත්‍රා දළ වශයෙන් මිලියන 4-4.8ක් අවශ්‍ය වන බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

මේ වන විට ‍ශ්‍රි ලංකාවට ලැබී ඇති Pfizer එන්නත් මාත්‍රා ගණන 811,220ක් බවත් එයින් Pfizer එන්නත් මාත්‍රා 306,421ක් පළමු මාත්‍රාව ලෙසත් එන්නත් මාත්‍රා 187,019ක් දෙවන මාත්‍රාව ලෙසත් ලබා දී ඇති බව ද ඔවුන් එම ලිපියේ සඳහන් ඇත.

ඒ අනුව, තවත් එන්නත් මාත්‍රා 119,402ක ගණනක් පළමු මාත්‍රාව ලබා දුන් අයගේ දෙවන මාත්‍රාව ලබා දීමට වෙන් කළ යුතු බව ද ඔවුන් සඳහන් කර තිබේ. එබැවින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලැබී ඇති සහ ලැබීමට නියමිත සියලුම Pfizer එන්නත් මාත්‍රා පාසල් දරුවන් සඳහා ලබාදීමට කටයුතු කිරීම ඉතාමත් බුද්ධිමත් සහ විද්‍යානුකූල වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යෝජනා කර තිබේ.

එමගින් දරුවන් අතර කොරෝනාවෛරසය පැතිරීම පාලනයටත් වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉදිරියේදී අඩු කර ගැනීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවතත් යථා තත්ත්වයට කෙටි කාලයකදී පත්කර ගැනීමට හැකි වන බවත් ඔවුහු පවසති. තව ද පාසල් දරුවන් එන්නත්කරණයට රට පුරා විහිදී තිබෙන රෝහල් පද්ධතියේ ළමා වට්ටු සහ ළමා එන්නත්කරණය සම්බන්ධ ඉතා හොඳ, පුහුණු කාර්ය මණ්ඩලයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල භාවිතා කිරීම වඩා සුරක්ෂිත බව ද එම සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

join now