අද සිට GMOA සටන් මංචයට - රෝහල් සේවා අර්බුදයට?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (02) උදෑසන 8.00 සිට තම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බව නිවේදනය කර තිබේ.
මෙම තීරණයට අනුව, රෝහල්වල නොමැති ඖෂධ හා උපකරණ බාහිරින් ලබාගැනීම සඳහා රෝගීන්ට තුන්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල්වල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට නිර්දේශ කිරීම අත්හිටුවීම, දේශපාලනිකව සංවිධානය කරන සෞඛ්‍ය කඳවුරු හා සායනවලට ස්වේච්ඡාවෙන් සහභාගී වීමෙන් ඉවත්වීම, අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව නොමැතිව විවෘත කරන නව වාට්ටු හා ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම, රෝගීන්ගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රමාණවත් පහසුකම් හා සහායක කාර්ය මණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත්වීම, විශේෂඥ වෛද්‍යවරුන් තම අනුයුක්ත රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම හා එයින් පිටත රෝහල්වල රාජකාරි ආවරණයෙන් ඉවත්වීම යනාදිය ඇතුළත් වේ.
සංගමය පසුගිය ජනවාරි 26 වැනිදා සිට සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබිණි. එදින මධ්‍යම කාරක සභාව රැස්වී සෞඛ්‍ය අමාත්‍යවරයාට ගැටලු සඳහා සාධනීය විසඳුමක් ලබාදී ප්‍රකාශයට පත්කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දුන්නේය.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බැවින් අද සිට ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාමට සංගමය තීරණය කර ඇත.
මෙයට අදාළව, ජනවාරි 31 වැනිදා පෙරවරුවේ සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාම තහවුරු කෙරිණි.