වෙළෙඳපොළට Gas නිකුත් කරන දිනය මෙන්න..සභාපතිගෙන් ප්‍රකාශයක්..(VIDEO )

By Sewvandhi Jan 03, 2022 09:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙළෙඳපොළට ප්‍රමාණවත් අයුරින් ලාෆ්ස් ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ඉදිරි සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බව ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්.වෑගපිටිය මහතා පවසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්.වෑගපිටිය මහතා,

"අපි දෛනිකව සිලින්ඩර 40,000ක් - 50,000ක් අතර, වෙළෙඳපොළට කලින් නිකුත් කළා. නමුත් මෑතක දී අධිකරණයෙන් දුන්න යම් යම් උපදෙස් සහ ප්‍රමිති ආයතනයෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අපිට ගෑස් පිරවීම සහ එයින් අනුගමනය කළ යුතු යම් යම් ආරක්ෂණ ක්‍රමවේද නිර්දේශ කළා.

ඒ කටයුතු කිරීමේ දී ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ යම්කිසි අඩුවක් ඇති වෙලා තියෙනවා. නමුත් දැනට අපි සිලින්ඩර 10,000ක - 15,000ක ප්‍රමාණයක් දෛනිකව ලංකාවේ හැම ප්‍රදේශයකටම බෙදාහරිනවා. යම්කිසි හිඟයක් ඇති වුණත් ඉදිරි සති තුන ඇතුළත සියලුම වෙළෙඳපොළ සියලු අංශයන් සංතෘප්ත වන්න අපි බලාපොරොත්තු වෙනවා."

ලාෆ්ස් මෙන්ම ලිට්‍රෝ ගෑස්ද ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය අදත් ප්‍රදේශ රැසකින් වාර්තා වුණි. මාසයකට වැඩි කාලයක් ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමට නොහැකිව සිටි බියගම ප්‍රදේශයේ පාරිභෝගිකයින් අද (03) උදෑසන ලාෆ්ස් අලෙවිසලක් අසල දිගු පෝලිමක රැඳී සිටියේය. පාරිභෝගිකයින්,

"ගෑස් ගෙනිච්චත් ඉන්න ඕනේ බයෙන්. මොකද්ද මේ ආණ්ඩුව..." "යුද්ධ කාලයක් ආවා. යුද්දේ කාලේවත් මෙහෙම වුණේ නෑ. ආයේ එන්නේ නැතැ ඉල්ලගෙන. ‍දෙන්නේ නෑ මේ පාර කිසිම එකෙක්ට."

ගාල්ල සහ කළුතර ප්‍රදේශවලත් අද උදෑසන ගෑස් ලබාගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටියේය. මේ අතර ජීවන වියදම සම්බන්ධයෙන් ජනතාව මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගය සංවිධාන කළ පන්දම් විරෝධතා කිහිපයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණි.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාකිරීම සඳහා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවීමට නියමිතව තිබුණද එම කැඳවීම කල් දමා ඇතැයි වාර්තා වේ. ඒ, අද දිනයේ කැබිනට් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට නියමිතව තිබීම හේතුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now