ගෑස් සම්බන්ධයෙන් ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක්..

Gas Litro Gas Lasantha alagiya wanna
By Aruna Dec 17, 2021 01:57 AM GMT
Aruna

Aruna

Report

දෙවන නෞකාවෙන් පරීක්ෂාවට ලක් කළ ලිට්‍රෝ ගෑස් සාම්පල නියමිත ප්‍රමිතියට අනුකූල නො වන බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ, ඊයේ රාත්‍රියේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක වැඩසටහනට එක්වෙමින්.

මේ අතර ගෑස් සිලින්ඩරයක උපරිම පීඩනය බාර් 6ක් වුවත්, මේ වනවිට වෙළෙඳපොළේ පවතින ගෑස් සිලින්ඩරවල පීඩනය බාර් 5.3ක් බව හෙළිවී තිබේ.

ඒ පිළිබඳව මිනුම් කටයුතු සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට ඊයේ (16) දැනුම්දී ඇත.

නමුත් එය 4.2 දක්වා අඩුකිරීම වඩාත් යෝග්‍ය බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතර ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට සේන්දුවී ඇති නෞකා දෙක දින 6ක සිට තල්දියවත්තට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබේ.

එම නෞකාවලින් ගෙනආ ගෑස්වල ගන්ධය ඇති කිරීම සඳහා යොදන එතිල් මර්කැප්ටන් නිසි ප්‍රමිතියට නොමැති බව ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණයේදී තහවුරුවීම හේතුවෙන් එම ගෑස් ගොඩබෑමට අවසර හිමි නොවීය.

ගෑස් මෙට්‍රික්ටොන් 7,000 කට ආසන්ව ප්‍රමාණයක් සමග කොළඹ වරායට සේන්දුවී ඇති නෞකා දෙක සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයෙන්, පාරිභෝගික අධිකාරියෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසීමක් කළේය.

එහිදී ඔවුන් සඳහන් කළේ අදාළ නෞකා පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර ගෑස් ගැටලුවට විසඳුම් ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ විරෝධතාවයක නිරත වුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now