තවත් ගෑස් අනතුරක්.. සම්පූර්ණ නිවසක් විනාශ වෙයි...
වත්තල හුණුපිටිය කාන්ති මාවතේ නිවසක් අද (31) පෙරවරුවේ ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබුණි. නිවැසියන් පවසන්නේ, අද දිනයේ ගෑස් ලිපට සවිකළ නව සිලින්ඩරය හේතුවෙන් මෙම ගින්න හටගත් බවය. ගින්නෙන් නිවසට දැඩි අලාභහානි සිදුවී තිබුණි.
ගිනි නිවන දෙපාර්තමේන්තුවේ රථ 3ක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට පියවර ගත්තත් අදාළ නිවස සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබුණි. පොලීසිය ප්‍රකාශ කළේ මෙම ගින්නට හේතුව ගෑස් කාන්දුවක්ද නැතිනම් විදුලි කාන්දුවක්ද යන්න සොයා විමර්ශන සිදුකරන බවය
. මේ අතර ගෙවුණු පැය 24 දීත් දිවයිනේ ප්‍රදේශ 3කින් ගෑස් ආශ්රිත අනතුරු වාර්තාවී තිබුණි. ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් ලිප පුපුරා ගොස් තිබුණේ ඊයේ පස්වරුවේදීය. ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව තිබුණේ නැත.
ගම්පොළ කීරපන ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ආහාර පිසිමින් සිටියදී ගෑස් ලිප පුපුරා ගොස් තිබුණි. පවතින වාතාවරණය යටතේ ඉල්ලුමට සරිලන ගෑස් සැපයුමක් ලබාදීමට ගෑස් සමාගම් අසමත්වීම තුළ පසුගිය දින කිහිපයේදීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයින්ට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවුණි.
ගෑස් වෙළඳපොළට සැපයීම සීමාවීම පිළිබඳ හේතු සොයාබැලීම සඳහා අද දෙරණ කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි. මේ අතර කඩිනමින් ගෑස් ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලා එක්සත් ස්වයං රැකියා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අද කොළඹ ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ නිහඬ විරෝධතාවක නිරත වුණි.
පසුව ඔවුන්ට ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ද අවස්ථාව හිමිවුණි.
ගෑස් සැපයුම පිළිබඳව සමාගම් තුළ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීමට ඉදිරියේදී රජය මැදිහත් වී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද ප්‍රකාශ කළේය