ප්‍රමිතිගත ගෑස් හිඟය තවදුරටත්...?

By Sithumi Dec 28, 2021 01:49 PM GMT
Sithumi

Sithumi

Report

වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පැවසූ නව මුද්‍රාවක් සහිත ප්‍රමිතිගත ගෑස් සිලින්ඩර මෙතෙක් තමන්ට ලැබී නැතැයි ගෑස් අලෙවි නියෝජිතයින් පවසයි. 

වෙළෙඳපොළේ පවතින පැරණි ගෑස් සිලින්ඩර යළි ලබාගෙන, අලුත් මුද්‍රාවක් සහිත ප්‍රමිතිගත ගෑස් සිලින්ඩර නිකුත් කරන්නැයි ගෑස් සමාගම් වෙත දැනුම් දී අද (28) ට දින 8ක් ගතවී තිබේ. එහෙත් ප්‍රමිතිගත නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත්වීමේ ප්‍රමාදය නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටී.

ඒ අතර කතරගම රජමාවත ප්‍රදේශයේ සහ නිට්ටඹුව ඌරපොළ ප්‍රදේශවලින් අදත් ගෑස් ලිප් ආශ්‍රිත අනතුරු වාර්තා විය. නාවලපිටිය නාගස්තැන්නවත්තේ කුකුළු ගොවිපළක පැටවුන්ට අවශ්‍ය උෂණත්වය පවත්වාගෙන යාම සඳහා සවිකර තිබූ ගෑස්වලින් ක්‍රියාත්මක හීටරයක ගෑස් නළය පුපුරා යාමෙන් ගින්නක් හටගෙන තිබේ.

එම අනතුර CCTV කැමරාවක සටහන්ව තිබුණි. මේ අතර පෑලියගොඩ අවන්හලක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් කාන්තාවක් තුවාල ලැබීමේ සිද්ධියක් පිළිබඳ වූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අදාළ පාර්ශව අද පාරිභෝගික කටයුතු අධිකාරියට කැඳවා තිබූ බව වාර්තා විය. වත්මන් ගෑස් හිඟය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ, මේ වන විට කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 30,000 - 40,000 අතර ප්‍රමාණයක් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන බවය.

එම නව නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතියට සහ අධීක්ෂණයට යටත්ව සිදුකර ඇතැයි ලිට්‍රෝ සමාගම පැවසීය. ඒ අනුව වෙළෙඳපොළට නිකුත් කරන ලද නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායින් ගෑස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගතවන බැවින් නව නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව එම නිවේදනයේ සඳහන් විය.

ඉදිරියේදී එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංග මේ වනවිටද ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගෙන ඇතැයි එම සමාගම නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. පාරිභෝගිකයින්ට සිදුවන තාවකාලික අපහසුතාව පිළිබඳව කණගාටු වන බවද අදාළ නිවේදනයේ සඳහන්ය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now