ගෑස් සිලින්ඩර වල පීඩනය පිළිබඳ අනාවරණක්

By Sithumi Dec 16, 2021 03:09 PM GMT
Sithumi

Sithumi

Report

ගෑස් සිලින්ඩරයක උපරිම පීඩනය බාර් 6ක් වුවත්, මේ වනවිට වෙළෙඳපොළේ පවතින ගෑස් සිලින්ඩරවල පීඩනය බාර් 5.3ක් බව හෙළිවී තිබේ. ඒ පිළිබඳව මිනුම් කටයුතු සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (16) දැනුම්දී ඇත.

නමුත් එය 4.2 දක්වා අඩුකිරීම වඩාත් යෝග්‍ය බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මේ අතර ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට සේන්දුවී ඇති නෞකා දෙක දින 5ක සිට තල්දියවත්තට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබේ.

එම නෞකාවලින් ගෙනආ ගෑස්වල ගන්ධය ඇති කිරීම සඳහා යොදන එතිල් මර්කැප්ටන් නිසි ප්‍රමිතියට නොමැති බව ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණයේදී තහවුරුවීම හේතුවෙන් එම ගෑස් ගොඩබෑමට අවසර හිමි නොවීය.

ගෑස් මෙට්‍රික්ටොන් 7,000 කට ආසන්ව ප්‍රමාණයක් සමග කොළඹ වරායට සේන්දුවී ඇති නෞකා දෙක සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයෙන්, පාරිභෝගික අධිකාරියෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසීමක් කළේය.

එහිදී ඔවුන් සඳහන් කළේ අදාළ නෞකා පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය. මේ අතර ගෑස් ගැටලුවට විසඳුම් ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණි. හංවැල්ල, දිද්දෙණියවත්තේ ක්‍රිස්තියානි භාවනා මධ්‍යස්ථානයක නේවාසිකයින් සඳහා අද උදෑසන ආහාර පිසිමින් සිටියදී ගෑස් ලිප පුපුරා ගොස් තිබුණි.

හෝමාගම ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් ලිපක් පුපුරා ගියේය. නිවැසියන් පැවසුවේ ගෑස් සිලින්ඩරය මීට දින 5කට පෙර මිලදීගත් එකක් බවය. අනුරාධපුර තලාව ප්‍රදේශයේ ආපන ශාලවක ගෑස් ලිප හා බට පුපුරාගොස් තිබුණි.

එමෙන්ම හිඟුරක්ගොඩ පොලීසිය අසල නිවසකට ඊයේ ගෑස් සිලින්ඩරයක් මිලදී ගෙන ඇති අතර, ඉන් ගෑස් කාන්දු වූ අයුරු දක්නට ලැබුණි. එම ගෑස් සිලින්ඩරයේ නොකැඩූ මුද්‍රා 3ක් තිබූ බව ද නිවැසියන් පැවසීය. එමෙන්ම නානුඔය ග්ලාස්ටන් වත්තේ නිවාසයක, කහවත්ත කොටකෙතන සහ ත්‍රිකුණාමලය විහාර මාවත යන ප්‍රදේශවල නිවාස 3කද ගෑස් ලිප් පුපුරා ගොස් තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු දකුණු පළාත් සභා සහ හික්කඩුව නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෑස් සමාගම්වලට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හික්කඩුව සීනිගම දේවාලයේදී අද දේව කන්නලව්වක නිරත වුණි.

මේ අතර දිවයිනේ පසුගිය දින කිහිපය පුරා ගෑස් ලිප් පිපිරීම් සිදුවීම හේතුවෙන් පිටකොටුවේ ගෑස්ලිප් අලෙවිය අවමවී ඇති බව වෙළෙඳුන් පවසයි. ඔවුන් පවසන්නේ, කෙසේ වෙතත් භූමිතෙල් ලිප් හා හොට් ප්ලේට් අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බවය. මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල අද දිගු භූමිතෙල් පෝලිම් ද දැකගත හැකිවුණි