කොල නැති ගස හෙවත් මෙරට තහනමට ලක්වු එල්ලුම් ගසේ කතාව..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Subodha Jul 05, 2022 05:20 AM GMT
Subodha

Subodha

Report

ලංකා ඉතිහාසයේ සිට ප්‍රසිද්ධ කතාවක් හා තේරවිල්ලක් ලෙස කොළ නොමැති ගස ලෙස සියලු දෙනාම දන්නා එල්ලුම් ගස පිළිබඳව ඇත්තේ සුවිශේෂ කතාවකි. විශේෂයෙන්ම වරදට දඬුවම් කළ යුතුය යන්න මත පදනම් වු එල්ලුම් ගස ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අතීත රජ දවස පැවති දඬුවම් ක්‍රමයද ඉවහල් වූවා යයි අනුමාන කළහැක. මන්ද එකල රාජ උදහසට හසුවන ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ උල තැබීම, ඇතුන් ලවා පෑගවීම, තෙල් කටාරම් වලට දැමීම, ගෙල කපා දැමීම, දියේ ගිල්විම වැනි දරුණු දඬුවම් දීමට රජවරුන් කිසිදා පැකිලුණේ නැති බව ඵෙතිහාසික කතා පුවත් වලින් අපට පෙනේ. උදාහරණයක් ලෙස ඇහැලේපොල කුමාරිහාම් ඇතුළු සිය පවුල ගාථනය සදහන් කල හැක. ඒ ආකාරයේ දඬුවම් ක්‍රම නිසා අතීත සමාජයේ දඬුවමට ඇති බිය වර්ධනය වී එමගින් සමාජ දූෂිත ක්‍රියාවල යෙදීමට වූ පෙළඹවීම අඩුවිය. විශේෂයෙන්ම වර්තමානයේ විවිධ රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ 114 වගන්තියේ රාජ්‍ය වැරදි සම්බන්ධයෙන් 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, 191 බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන්, 296 යටතේ මිනීමැරීම සිදු කරන අයෙකු සම්බන්ධයෙන්, 299 යටතේ සිය දිවි හානිකර ගැනීමට අනුබල දීම ද මරණ දඬුවමින් දඬුවම් කිරීමට හැකි වැරදි වෙයි. මීට අමතරව අන්තරායකර ඹෟෂධ ආඥා පනත යටතේ මත්කුඩු ජාවාරමේ යෙදීමද මරණ දණ්ඩණය ලැබීමට තරම් බරපතල වරදකි. අදාල නඩුවේ සාක්ෂි විමසා බලන විටක එකී වරදකරුට මරණ දඬුවම නියම කිරීමට තරම් පැහැදිලි සාක්ෂි තිබේනම් ද අනෙකුත් සාධක ද සොයාබලා දඬුවම් නියම කරයි. එහිදී අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දමනු ලැබේ. මරණ දඬුවම නියම කළ වගන්තිය ලියා එය ලියූ පෑන කඩා දමනු ලැබේ.

ලංකා නීතිය යටතේ ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයකදී එල්ලා මැරීම සිදු කරයි. මරණ දඬුවම නියම කරනු ලැබූ පුද්ගලයන් සිර මැදිරිවල වෙන වෙනම දින 7ක කාලයක් දිනෙන් දින එල්ලුම් ගහට ආසන්න කාමර වල එල්ලුම් ගහට ලගා වන පරිදි තබනු ලැබේ. දිනකට ශාරීරික ව්‍යායාම සඳහා පමණක් සීමිත වෙලාවක් එකී සිර මැදිරිවලින් එලියට ගනු ලැබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙරදින පෝරකය අසල ඇති වෙනත් කාමරයක අවසාන දින රාත්‍රියේ රඳවා තබනු ලැබේ. එහිදී ඔහුගේ බර හා උස මැනගනු ලැබේ. එහිදී ඔහුගේ බරට සරිලන වැලි ගෝනියක් එල්ලා එල්ලුම් ගසේ ලණුව ක්‍රියාත්මක කර පරීක්ෂණයක් කරනු ලැබේ. සිරකරු කෑමට කැමති ආහාරයක් පිළියෙල කර දෙන අතර අවශ්‍ය නම් මත්පැන් ස්වල්පයක් ද බීමට දෙනු ලැබේ. එසේ බීමට දෙනු ලබන්නේ සිරකරුවන්ගේ වෛද්‍යවරයා විසින් අනුමැතිය ලබා දෙන අවුන්ස ගණන පමණයි. තවද තමා කැමති ආගමික පූජකවරයෙක් ගෙන්වා ධර්ම දේශනාවක් ද කරනු ලැබේ.

එක්තරා අවස්ථාවකදී මරණ දඬුවම ලබා සිටි සිරකරුවකුගේ අවසාන ඉල්ලීම වූයේ මිල්ටන් පෙරෙරා නම් ගායකයා ලවා ගීතයක් ගායනා කරවා ගැනීමයි සහ මරදාන බුහාරි හොටලයෙන් බුරියානි කෑම එකක් කෑමයි. ඒ අයුරින්ම කැමැත්ත ඉටුකරවා දුන් බවත්, පසුව සිරකරු පෝරකය වෙත ගියේ තමාම ඒ සින්දුව ගායනා කරමින් බවත් පැවසේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන පුද්ගලයා අලුගෝසුවා යන නමින් හඳුන්වයි. වර්තමානයේ නම් අලුගෝසුවා යනු කාර්යයන් කිරීමකින් තොරව වැටුප් ලබන්නෙකි. විශේෂයෙන්ම එයට හේතු වී ඇත්තේ එල්ලුම්ගහට ලැබුණු විරාමයේ පිහිට අලුගෝසවාටද ලැබී ඇති බැවිනි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින උදෑසන අදාල චෝදිත පුද්ගලයාට විශේෂ ඇඳුමක් අන්දවනු ලැබේ.එකී ඇඳුම ඇන්ද වූ පසු අත්දෙක සෙලවීමටවත් අවස්ථාවක් නොමැත. ඉන් පසුව ඔහුගේ මුහුණ කණ්ණාඩියකින් පෙන්වනු ලැබේ.එය තම මුහුණ දැකගැනීමට ලැබෙන අන්තිම අවස්ථාව වෙයි. ආගමික පූජකවර‍යෙකු පැමිණ ආගමික කටයුතු නිම වූ පසුව පෝරකය වෙත කැඳවාගෙන යනු ලැබේ.

එසේම එල්ලුම් ගහ වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන්නේ නිළධාරීන් කිහිප දෙනෙකු ඉදිරිපිටදීය. මේ කණ්ඩායමට වෛද්‍යවරයෙකු ද ඇතුලත් වෙයි. එල්ලුම්ගහ තබා ඇත්තේ සිරගෙයි අඳුරු කාමරයක් තුලය. අද දවසේ බෝගම්බර සිර ගෙදර සහ වැලිකඩ සිර ගෙදර පමණක් එල්ලුම්ගස් තිබේ. එල්ලුම්ගහ ක්‍රියාත්මක වන දිනයේ අදාල අඳුරු කාමරය තුල එල්ලා මරණු ලබන්නාගේ නම දිනය සඳහන් කොට ඇත. එල්ලා මැරීමට යොදාගන්නා කඹය බෙල්ජියමෙන් ආනයනය කරනු ලැබේ. එල්ලුම් ගසට අවශ්‍ය කඹය මෙදා පාකිස්ථානයෙන් ගෙන්වීමටද කටයුතු යොදා ඇත. එල්ලීමේ දී බෙල්ල සිරවීමෙන් උගුරු දණ්ඩ කැඩීයාමක් සිදුවේ. මුහුණ වැසීම හෝ නොවැසීම සිදු කරන්නේ අදාල දඬුවම ලබන්නාගේ මනාපය පරිදිය. මරණ දඬුවම ක්‍රියාත්මක වූ පසු වෛද්‍යවරයෙකු විසින් අදාල සිරුර පරීක්ෂා කර හරියටම මිය ඇද්දැයි පරීක්ෂා කරනු ලැබේ. ඹහු එවිටද මියාගාස් නැතිනම් නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කොට මරා දැමීමට නොහැකිය. මක් නිසාද යත් මරණ දඩුවම ලබා දෙන්නේ එකවර එල්ලා මරා දමනු යනුවෙනි. අදාල පුද්ගලයාගේ ශරීරය වලදැමූ පසුව ඒ මත පස් ගොඩගසනු නොලැබේ. එයට හේතුව ඔහු වරදකරුවෙකු ලෙස දඬුවම් ලබා මිය යාමයි.

ලංකාවේ මරණ දඬුවම ඉවත් කල යුතුයයි විවිධ අදහස් පල වී තිබේ. විශේෂයෙන්ම ලංකාව බෞද්ධ රටක් වීමත් බෞද්ධ ධර්මයේ වන අවිහිංසාවාදී ප්‍රතිපත්තියත් මෙයට මූලික වන්නට ඇත. මුල් යුගයේ සිටම අපේ රටේ පැවති මරණ දඬුවම ඉවත් කළ යුතු බවට මුලින්ම යෝජනාවක් ගෙන ආවේ එවක අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි.1928 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ මෙම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මෙයට විකල්ප දඬුවමක් නොවූ බැවිනි. 1936 දී පානදුර කොට්ඨාශය නියෝජනය කළ සුසන්තාද ෆොන්සේකා මහතා විසින් නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එල්ලුම්ගහ තහනම් කිරීමේ යෝජනා ගෙන ආ අතර දිවි ඇති තෙක් බන්ධනාගාර ගත වීම විකල්ප වශයෙන් යෝජනා වී ඇති නමුත් එය ද ප්‍රතික්ෂේප විය.

නීති පොතේ තවදුරටත් මරණ දඬුවම ලියවී තිබුණද එය ක්‍රියාත්මක කිරීම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා විසින් නවතා දමන ලදි. මේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නමුත් සෙනෙට් සභාවෙන් සම්මත නොවූ නිසා දෙවන වර පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීම තුලින් ක්‍රියාත්මක විය. මේ නිසා එවකටත් මරණ දඬුවම නියම වී සිටි මරදන්කඩවල යකඩයා, කපිතාන් ආතර් පෙරේරා, එරික් බුචෝ යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් වීමට සිදු විය. 2006 වසරේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකර‍යට කුඩු ජා‍වාරම්කරුවන්, කුඩු ව්‍යාපාරිකයන් හට මරණ දඬුවම ක්‍රියාත්මක කරවන බව ප්‍රකාශ කලද, තවමත් මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කල හැක්කේ ජනාධිපතිතුමාට හෝ තුමියට පමණක් වන නමුදු මරණ දඬුවම නියම කල හැක්කේ අධිකරණයට පමණක් වීම සුවිශේෂත්වයකි. එසේ නොවී නියම කිරීම, ක්‍රියාත්මක කිරීම යන දෙකම එක් පුද්ගලයෙකුට පමණක් නියම වී කිබුණි නම් එය අයහපත් ආකාරයට ද ක්‍රියාත්මක වීමට ඇතිවිය හැකිව තිබූ ඉඩකඩ මින් අහුරා දමා තිබේ.

කෙසේ වුවද ලංකාව බෞද්ධ රටකි. ඒ සංකල්පය අනුව කෙනෙකුගේ ජීවිකය නැති කිරීම වරදකි. නමුත් එක් පුද්ගලයෙකුගේ ජීවිතය නැති කිරීම හෝ උක්ත දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වූ අනෙකුත් වැරදි සිදු වීම මගින් සමාජයට වන්නා වූ හානිය සුළුපටු නොවේ. වර්තමානය සැලකිල්ලට ගැනීමේ දී දඬුවමට බිය ඇති කිරීමටත්, අපරාධ වලක්වා ගැනීමටත් මරණ දඩුවම ඉවහල් වෙයි. නමුත් තවමත් ලංකාව තුල එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවේ. අගමැති බණ්ඩාරානායක මහතා එල්ලුම්ගස තහනම් කළද, ඊට පසුවද එල්ලුම් ගස ක්‍රියාත්මක විය. 1976-06-27 න් පසුව එල්ලා මරා දැමීම සඳහා මේ වනතෙක් එල්ලුම්ගස ක්‍රියාත්මක කර නැත.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now