ජනපති ලේකම් කාර්යාලය අසල බාධක ගැන අධිකරණයෙන් ලැබුනු තීරණය..!
ගාලු මුවදොර විරෝධතාව අද 34 වන දිනටත් ක්‍රියාත්මක අතර මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රවේශ මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමේ හදිසි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීම ලබන මස 13 වැනිදා දක්වා කල් දැමුණා.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, එහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම ඉල්ලීම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.
ගාලු මුවදොර පිටියෙන් විරෝධතාකරුවන් ඉවත් කරන ලෙසට තමන් විසින් ඉල්ලීමක් සිදුනොකළ බව මෙහිදී ඒ අවට පෞද්ගලික හෝටලයක සහ අවන්හලක කළමනාකාරවරුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශ ලබාදෙමින් අධිකරණයට දැනුම් දී තිබුණා.
තවදුරටත් කරුණු දැක්වූ එම නීතිඥවරුන් සඳහන් කර සිටියේ පොලිසිය අධිකරණයට අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට අදහස් කරන බවයි.
අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මීලඟ නඩු දිනයට පෙර මෙම නඩුව කැඳවන්නේ නම් ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයටද නොතීසි නිකුත් කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට මෙම ඉල්ලීම පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතාවක් නොමැති බව පෙනී යන්නේ යැයි ප්‍රකාශ කළා.
මේ අතර, ගාලු මුවදොර අරගල භුමිය ඉවත් කිරිමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති සහ බහුජන එකමුතුව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද විරෝධතාවයක් සංවිධාන කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |