ගල්කිස්ස අධිකරණ සිදුවීමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායකට ඇප [UPDATE]
කොළඹ - පසුගිය සතියේදී ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු සමඟ ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (15) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අතර, ඔහුට ඇප නියම කර තිබේ.
කොළඹ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වන්නිනායක මහතා මෙම තත්ත්වය යටතේ අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරමින්, තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිටියේය. එහිදී පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර, පෙත්සමේදී ඔහු පවසා ඇත්තේ, පොලිසිය තමන්ව අනීතිකව අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් 3ක් යොදා ඇති බවයි.
මෙම ගැටුම පිළිබඳව වාර්තා වන්නේ, ගල්කිස්ස අධිකරණ භූමියේදී එක් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් ඉවත් කිරීමේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ මතභේදයක් ඇතිවීමයි. එහිදී එම නීතිඥවරයාට පහර දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, ඔහුට ද රුපියල් ලක්ෂයකින් යුත් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. මෙම සිදුවීමේදී වන්නිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවන් වන්නේ, පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීම, සාපරාදී බලහත්කාරකම් සහ පරුෂ වචන භාවිතය ය.
ගල්කිස්ස නීතිඥ වන්නිනායක ගල්කිස්ස අධිකරණයට ---- @4.00PM
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත.
නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිටි අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රිට් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද (15) අධිකරණයට ඉදිරිපත් වන බවය.
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව එම පෙත්සමේ අවධාරණය කර ඇත.